ඇත් දළ කපා ඇත්තේ යකඩ කපන කියතකින්
ගල් ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කළ අය අත්අඩංගුවට

රටේ විශාල අවධානයක් ඇති කරමින් ගල්ගමුවේ දළ පූට්ටුවා මියගොස් ඇත්තේ ස්වභාවිකවද? නැතිනම් ඝාතන සිද්ධියක් මතද යන ගැටලුව පෙරේදා වනවිට පැවති අතර ඇතා මියගියේ වෙඩි වැදිමකින් බව ඊයේ (30) සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණය වුණා. ඒ අනුව ඝාතනය සිදු කළ සැකකරුවන් සොයා පොලිසිය කළ මෙහෙයුමේදී මේ වනවිට සැකපිට 5 දෙනෙකු අත්අඩංගුවටද ගෙන තිබේ.
අඩි දහයක්, එකොළහක් පමණ උසැති වයස අවුරුදු පනහක් පමණ වන ඇතා මරාදමා ඇත්තේ මීට සති තුනකට පමණ පෙර බවද  අනාවරණය වී තිබේ. මොරගොල්ලාගම, නිකවැව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ඇත් දළ දෙක “ගල්ගමුව දළ පූට්ටුවාගේ දළ දෙක” දැයි සැක සිතු වනජිවි නිලධාරීන් විසින් පසුගිය විසිහය වැනිදා සිට ඇතාගේ මළ සිරුර  සොයා පරික්ෂණ
ආරම්භ කරන ලදි. අත්අඩංගුවට ගත් දළ දෙක දළ පූට්ටුවාගේම බව සැකහැර හඳුනාගැනීමට ගල්කිරියාගම අඩවි වන ජීවි ආරක්ෂක නිලධාරි ඩී. රාමසිංහ මහතා පසුගිය විසිඅට වැනිදා මහව මහේස්ත්‍රාත් අධිකරණයේදී සමත්විය. ඒ අනුව එදින පස්වරුවේ සිට ගල්කිරියාගම, ගල්ගමුව, මීගලෑව, හේරත්ගම,

මහව යන වනජීවී කොට්ඨාසයේ පොලිස් ස්ථානවල නිලධාරින් පිරිසක් විසින් පුළුල් විමර්ශනයක් සිදුකරන ලදී. ඒ අනුව පසුගිය විසිනවය වැනි දින පස්වරු එකයි තිහට පමණ ගල්ගමුව දළ පූට්ටුවාගේ මළ සිරුර  ලඳු කැලෑවක තිබී සොයාගන්නට යෙදිණි.
දළ ඇතා මරාදමා ඇත්තේ ෂොට් ගන් එකකින් වෙඩි තබා බවත් ඇතාගේ හිසෙහි හා උදරය ප්‍රදේශයේ තිබූ උණ්ඩ තොගයක්
හමුවූ බවත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දන්වා තිබුණි.
ඇතා මියගිය පසු දළ දෙක කපා ඇත්තේ යකඩ කැපීමට භාවිතයට ගන්නා කියතකින් බවත් කියත් තල කැලි කිහිපයක් ඇතාගේ මළ සිරුර අසළ තිබී හමුවී ඇති බවත් පැවසේ.
 හස්ති රාජයාගේ ඝාතනය සිදුකළ අය සම්බන්ධයෙන් පොලිසිය අනතුරුව මෙහෙයුම් අරඹන ලද අතර පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අඹන්පොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකදි ඊයේ රාත්‍රී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් සියඹලාව, මොරගොල්ලාගම  ප්‍රදේශයේම පදිංචි අවුරුදු 20, 38, 26 සහ 43 යන වයස්වල පසුවනපුද්ගලයින් බව වාර්තා විය.සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කළේය.
 ඇතා වෙනුවෙන් පුණ්‍යනුමෝදනා කර පාංශුකූලයද ලබාදී සිරුර ඊයේ (30) පස්වරුවේ  මිහිදන් කෙරිණි.