ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දියණිය ඉවන්කා පසුගියදා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය බලධාරීන් සැපයූ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ව මතුව තිබෙන අතර ඒ ගැන මේ වනවිට පරීක්ෂණයක් අරඹා
තිබේ.
ඉන්දියානු සංචාරය අතරවාරයේ

ඇයගේ ගමන් බිමන් සඳහා ඇමරිකානු රාජ්‍යය මැදිහත්වී ඉන්දීය බලධාරීන් සමග විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කර තිබුණත් එහි විශාල හිදැසක් තිබුණ බවත් විශේෂයෙන්ම ඇය සහභාගීවූ ජීඊඑස් සමුළුවේදී මෙම තත්වය ඉස්මතුවූ බවත් වාර්තාවේ.
ඇය අගමැති මෝදි සමග ප්‍රසිද්ධියේ සහභාගීවූ එම සමුළුවෙ ආරක්ෂාව තර තර තිබුණත් එහි සීසීටීවී පද්ධතියේ ආරක්ෂාව මදීවීම මෙම ගැටලුවට මුල් විය. එම සමුළුව ආවරණය කිරීමට ඉන්දීය රූපවාහිනී නාලිකා අතර තරගයක් පැවති අතර ඒ සඳහා අවස්ථාව උදාවූයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවන්ට පමණි.
කෙසේ වෙතත් ඉන්දියාවේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක් මේ අතරවාරයේ හොර රහසේම එම සමුළුව පැවති ශාලාවේ සීසීටීවී පද්ධතියට පිවිසීමේ අවස්ථාව ලබාගෙන තිබෙන අතර සමුළුව පැවති අතරවාරයේ සජීවී විකාශනයක් සීසීටීවී දර්ශන ඔස්සේ සපයා තිබේ.