ලොව විශාලම බැංකු කොල්ලය මෙරට බැඳුම්කර කොල්ලය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහනුවරදී පැවැසීය.
සිය උපන් දිනය වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්
මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද සඳහන් කෙළේය.
ඉතිහාසයේ විශාලම බැංකු කොල්ලය බැඳුම්කර මහා කොල්ලයයි. ආසියාවේ මෙවැනි බැංකු කොල්ලයක් සිදුවී නැහැ. මෙය ලෝකයේ ලොකුම බැංකු කොල්ලය කීවත් කමක් නැහැ. මෙහි අමු අමුවේ කොල්ල කෑමක් සිදුව තිබෙනවා. මේ පිළිබඳව දැන් එළිදරව් වෙමින් පවතිනවා. මෙය කෝප් කමිටුවේදී කතා කළ අවස්ථාවේදී සාමාජිකයන් පත් කරන්නේ පාර්ලිමේන්තුව මන්ත්‍රිවරුන්ගේ විශ්වාසය ඇතිව නියෝජනය කරන්නයි. ඒ මන්ත්‍රිවරු මේ අය සමඟ ගනුදෙනු කර තිබෙනවා. මේ අය විශාල ලෙස දුරකතන ඇමැතුම් අරගෙන තිබෙනවා. වහාම මේ ගැන පරීක්‍ෂණයක්

සිදුකළ යුතුයි.

අද අපේ සෑම දුරකතනයක්ම ටැප් කරලා තිබෙනවා. අපේ කතාබහට ඒ අය සවන් දෙනවා. ඒ නිසා මෙය හරිම භයානකයි. මෙහෙම ගියොත් අපේ මූලික අයිතිය නැති වෙනවා. ඒ වගේම මිනිසුන්ගේ නිදහසත් නැති වෙනවා. ව්‍යාපාරිකයන්ට මහජනතාවට මෙය විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ආකාරයට පොලිස් රාජ්‍යයකට රට ගමන් කරනවා. දුරකතන ටැප් කරන එක මොන ආකාරයෙන් වුණත් සාධාරණීකරණය කරන්න, අනුමත කරන්න බැහැ. එය වහාම නැති කරන්න වෙනවා. අපේ කාලේ එහෙම වුණේ නැහැ. එහෙම වුණා නම් මෛත්‍රි පනින එක අපට අහුවෙනවානේ. මේ බැඳුම්කර දේපොළ අයුතු ලෙස හම්බ කරගත් දේපොළක්. මේ වංචාවෙන් ලංකාවේ සෑම පුරවැසියකුටම අවාසි වෙනවා. මේවා ගෙවන්න වෙයි. වහාම මේවා යළි අයකර ගන්න වෙයි. රටට ණය බර කියන්නේ මේ බැංකු කොල්ලය නිසයි. ඒවා සේරම මගේ පිටින් දානවා.

දැන් උපදින්න ඉන්න දරුවන් පවා ණය කර හමාරයි. මේක බැංකු කොල්ලයක්. බැංකු ජනසතු කරන්න කරන දෙයක් මේක. මේ අය බැංකු කොල්ල කාලා ඒකත් විපක්‍ෂයට දානවා.

මැතිවරණය කල් දානවා කීවට නඩුකාරවරුන් එයට සූදානම් වන එකක් නැහැ. මම හිතන්නේ නැහැ එය හරියයි කියලා. කොහොම වුණත් අපි සියලු දෙනාමත් බොහෝ පක්‍ෂත් එයට විරුද්ධ වී තිබෙනවා. ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමඟ එක්වන බව කියා නැහැ. දැනට එහෙම කතාවක්වත් නැහැ. ඒ අය අපෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එය ඒ අයගේ යෝජනාවක් පමණයි. අපේ මන්ත්‍රි කණ්ඩායමේ අනුමැතිය නැතිව මොන සාකච්ඡාවක්වත් නැහැ. යෝජනා තවම මගේ අතට ආවේ නැහැ. සාකච්ඡා කරන බවට කට කතාවක් යවන විට අපි කීවේ යෝජනාවක් තියේ නම් එය අපිට ලිඛිතව එවන්න කියලා.

ජාතික කොඩිය එපා කියනව නම් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න ආණ්ඩුවට පණ තියෙන්න ඕනෙ. ආණ්ඩුවට පණ නැතිනම් අපි මොකද කරන්නේ. ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් මොකක් හරි කරන්න වෙනවා. ගාල්ල සිද්ධියේදීත් මම අගමැතිවරයාට කතා කර පැවැසුවා පල්ලි, පන්සල් රැකගන්න කියලා. ගෝඨාභය, බැසිල් සියලු දෙනාටම නඩු දානවා. එෆ්.සී.අයි.ඩී. එක කියන්නේ ආණ්ඩුවේ අතකොලුවක්. ඒකට අගමැතිවරයා කමිටුවක් යවනවා. ඒ යවන ඒවා පමණයි පරීක්‍ෂණ සිදු කරන්නේ. එයාලා කොහොම හරි හදන්නේ නඩු දාන්න. මිනිසුන් අත්අඩංගුවට ගෙන ඇප නොදී ඉන්න.

පාර්ලිමේන්තුවෙ විශ්වාසය තියා කෝප් කමිටුවට යන අය දුරකතන ඇමතුම් දෙනවා නම් ඒ අය පාර්ලිමේන්තුවෙ විශ්වාසය කඩ කර තිබෙනවා. එහෙම නම් ඒ අයට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්ද? ජනතා විශ්වාසය සහ පාර්ලිමේන්තුවේ විශ්වාස නැති කළ අය කෝප් කමිටුව පිළිබඳවත් විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කතානායකවරයා සහ පක්‍ෂ නායකයන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්