මැති අමැතිවරුන්ගේ දුරකතන "ටැප්" කළ බවට දේශපාලනඥයන් නඟන අවලාද සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් කොමිසම විසින් සිදුකරගෙන යන මහ බැංකු බැඳුම්කර මගඩියට අදාළව පැහැදිලිවම චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස් හා අර්ජුන මහේන්ද්‍රන්ගේ දුරකතන වෝහාරික විද්‍යාත්මක පරීක්ෂණයකට
ලක්කොට ඔවුන් විසින්

මකාදැමූ දුරකතන අංක හා ඒවා කාගේද යන්නත් කවදා කොපමණ කාලයක් එම ග්‍රාහකයන් අතර කතාබහ සිදුව ඇද්ද යන්න පමණක් කොමිසම විසින් අනාවරණය කරගන්නා ලද බවත් බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම ඊයේ (20දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඇලෝසියස්ට හා මහේන්ද්‍රන්ට එරෙහිව පරීක්ෂණයක හා සාක්ෂි විභාගයක නිරතව සිටි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් එම දෙදෙනා සමඟ එම කාලය තුළදීම දුරකතන සංවාදවල යෙදී සිටිත් නම් ඔවුන් අතර කුමන ආකාරයේ කරුණු සාකච්ඡා වූයේද යන්න ගැන ඕනෑම අයකු තුළ සැකයක් ඇතිවන බවත් එබැවින් ඒවා කොමිසමේ පරීක්ෂණවලට බෙහෙවින් ප්‍රයෝජනවත් සාක්ෂි ලෙස යොදාගැනීමට කොමිසමේ අධිකාරි පත්‍රය අනුව බලය පැවැරී ඇති බවත් එම නිවේදනයෙන් ප්‍රකාශ විය.


දුරකතන පමණක් නොව ඔවුන් විසින් භාවිත කරන ලද වෙනත් විද්‍යුත් මෙවලම් හරහා හුවමාරුවූ පණිවුඩ පිළිබඳවද අවශ්‍ය තොරතුරු නීත්‍යනුකූලවම එම සේවා ආයතනවලින්ද ලබාගත් බවත් වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කෙරිණි.

කමල් මහේන්ද්‍ර වීරරත්න