ගාල්ල - ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරි තත්ත්වය නිර්මාණය කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රිවරයකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව දකුණු ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී බෝපේ
පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරග වැදීමේ අපේක්ෂාවෙන් සිටි බව කියන මෙම හිටපු මන්ත්‍රිවරයා රිය අනතුරක් මූලික කරගනිමින් මෙම ගැටලුකාරී තත්ත්වය සිය ආධාරකරුවන් හරහා නිර්මාණය කර ඇති බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ඉකුත් 16 සහ 17 දෙදින රාත්‍රියේ ගිංතොට ප්‍රදේශයේ නිවාස සහ දේපළ, වෙළෙඳසල් ආදියට පහර දීමේ සිද්ධියට මොහු සෘජු දායකත්වයක් ලබාදී ඇති බවට තොරතුරු ලද හෙයින් එම ප්‍රාදේශීය දේශපාලනඥයා අත්අඩංගුවට ගනු ලැබූ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රිවරයකු බව කියන මොහොමඩ් කීයාස් (කයිප් හුසේන්) නමැත්තෙකි.
මේ වනවිට මොහු ඇතුළු 10 දෙනකු මෙම ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එසේම මෙම නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබුණද ප්‍රදේශයට ලබාදුන් ආරක්ෂාව ඒ අයුරින්ම තවදුරටත් පවත්වාගෙන යෑමට රජය තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය සාගල රත්නායක මහතාට දන්වා ඇත.
ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් 06කට සෙනසුරාදා (නොවැ. 19දා) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබිණි.

කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.
දින දෙක තුනක් පුරා පැවැති මේ ආරවුලට අදාළ පුද්ගලයන් අනතුරින් දින දෙකකට පසුව පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිට නැවත නිවෙස් බලා එමින් සිටියදී හමු වී ඇති අතර එම ස්ථානයේදී ද මෙම පාර්ශ්ව දෙක අතර ගැටුමක් ඇති වී ඇත. ඉකුත් 17 වැනිදා ඇති වූ සිද්ධිය හේතුවෙන් තුවාල ලැබූවන් 13 දෙනකු මේ වනවිට ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.

ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් 18 දින උදෑසන ඇමැති වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආගමික නායකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

චාමර අමරසූරිය, ඉමදුව - ටී. විතානවසම්, රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි,
ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා, ගාල්ල - එච්. පරණවිතාන