කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන් දාසය හැවිරිදි පාසල් ශිෂ්‍යයකුට කළ පහරදීමක් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් කළ දැනුම්දීමක් මත සහ දරුවාගේ පියාගේ පැමිණිල්ලකින් පසු පොලිස් අත්අඩංගුවට ගත්
ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පතිවරයා ලබන 07දා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට මොරවක වැඩබලන මහේස්ත්‍රාත් සී.එස්.දිසානායක මහතා පෙරේදා (02 දා) සවස නියෝග කළේය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ ඌරුබොක්ක ජාතික පාසලේ විදුහල්පති ප්‍රියන්න කුමාරසිරි නමැත්තෙකි.


එම පාසලේ 11වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවකු කොණ්ඩය නොකපා පැමිණීම හේතුවෙන් ශාරීරිකව දඬුවමදිම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා
මෙසේ රිමාන්ඩ්බාරයට පත්කෙරුණි. විදුහල්පතිවරයාගේ දඬුවමට ලක්වූ ශිෂ්‍යයාට පාසලේදී වමනය යාම සහ ක්ලාන්තය ඇතිවීමෙන් ඔහු ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කර ඇති සිසුවා නිසියාකාරව කොණ්ඩය කපා නැතැයි පෙරේදා (02) පාසලේ උදෑසන රැස්වීමේ දී ඔහුට විදුහල්පතිවරයා විසින් පහරදී, පසුව නැවත අවස්ථා කිහිපයකදීම පහරදී ඇති බවට ඌරුබොක්ක පොලිසියට දරුවාගේ පියා විසින් පැමිණිලි කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.

දරුවාට පහරදීමෙන් පසු දරුවාගේ පියා විදුහලට කැඳවා දරුවාගේ කොණ්ඩය කප්පවාගෙන එවන ලෙස දන්වා නිබේ. දරුවා නැවත පාසලට එවා ඇති අතර එසේ පැමිණ පාසලේ සිටින විට දරුවාට වමනය ගොස් ක්ලාන්තය සෑදීම නිසා මව කැඳවා දරුවා බාරදී ඇත.
මව විසින් දරුවා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර තිබේ. පසුව පොලිස් මූලස්ථානයට කිසිවකු විසින් මේ බව දැනුම්දීමෙන් පසු ඌරුබොක්ක පොලිසියට ඒ ගැන සොයා බලන ලෙස දන්වා ඇත. අනතුරුව දරුවා රෝහල්ගත කිරීමෙන් පසු දරුවාගේ පියාද ඌරුබොක්ක පොලිසියට ෙබ් සබ්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පොලිසිය දන්වා සිටියේය.

පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව විදුහල්පතිවරයා පෙරේදා සවස අත්අඩංගුවට ගෙන වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 07දා තෙක් රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.
ඌරුබොක්ක පොලිස් ස්ථානාපධිති පොලිස් පරීක්‍ෂක රුක්මන් කුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
(අජිත් ලාල් ශාන්ත උදය හා ජයන්ත නානායක්කාර)