කල්මුණේ බාලිකා විදුහලේ 10 වැනි පන්තියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි දැරියක් තම නිවෙසේ පාඩම් කරමින් සිටියදී පෙරේදා (10දා) මැදියම් රෑ විදුලිසර වැදී මියගොස් ඇත. කැකිරාව, හොරාපොළ පදිංචි එස්. ෆාතිමා ඛාන් නමැති පාසල් දැරිය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

පාසලේ නේවාසිකාගාරයේ සිට පාසල් ගොස් ඇති දැරියට අසාධ්‍ය ලෙස ඩෙංගු උණ රෝගය වැලඳී ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු තවදුරටත් විවේකයෙන් සිටීමට වෛද්‍යවරුන් දුන් උපදෙස් අනුව දැනට මාස දෙකක පමණ කාලයක සිට හොරාපොළ පිහිටි නිවෙසේ සිට විවේක ගනිමින් සිට ඇත.


ඇයගේ ශාරීරික ශක්තිය කිසියම් සතුටුදායක මට්ටමකට පැමිණීමෙන් පසු අතපසු වු පාඩම්වලට අවධානය යොමු කරමින් සිටියදී ඇයගේ මේසය මත තිබූ විදුලි පංකාවක දිශානතිය වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී විදුලි පංකාවේ විදුලි පරිපථයේ කඩතොලු වී තිබූ ස්ථානයකින් විදුලිය කාන්දු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

විදුලිසර වැදී අසාධ්‍ය තත්ත්වයෙන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඇය මියගොස් සිටියාය.
කැකිරාවේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක් වන මියගිය දැරියගේ මව වන අමානි ශිහාරා මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ දැරිය පාඩම් කරනවිට තමාද අසල අවදියෙන් සිටි බවත් විදුලි පංකාවේ දිශානතිය වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී දැරියට විදුලිසර වැදුණු බවත්ය.

පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්. මෙනගාන්ත් මහතා විසින් සිදුකරන ලදී.
ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගත දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා විසින් විදුලිසර වැදීමෙන් සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළේය.

කැකිරාව පොලිස් ස්ථානාධිපති තිලක් ගනේගොඩ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් දිසානායක (52336) මහතා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවල සාක්ෂි මෙහෙය වීය.


දඹුල්ල - ධම්මික නාමල් කෝරාල