මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය නිර්මලා ද අල්විස් මහත්මිය පළකර ඇති අදහස්වලින් සිය කීර්තියට වූ හානිය වෙනුවෙන් ඇයගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් අයකර
දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

හිටපු සභාපති හඩ්සන් සමරසිංහ මහතා ඉදිරිපත් කර ඇති නඩුවක් ජනවාරි මස 19 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය පෙරේදා (02දා) නියෝග කළේය.
මෑතකදී කොළඹ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ වග උත්තරකාර නිර්මලා ද අල්විස් මහත්මිය සිය කීර්තියට හානි කළ බවත් ඒ වෙනුවෙන් ඇයගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා හඩ්සන් සමරසිංහ මහතා මෙම නඩුව ඉදිරිපත් කර තිබිණි.

නඩුවට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමේදී ප්‍රේම කීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිත කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකාරියට ඉඩ නොදෙන ලෙස, හඩ්සන් සමරසිංහ මහතාගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය පාර්ශ්වකරුවන්ගෙන් ලිඛිත දේශනද කැඳවා තිබිණි.
දීර්ඝ කරුණු විභාගයකින් පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා පැමිණිලිකාර හඩ්සන් සමරසිංහ පාර්ශ්වයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නඩුවට අදාළ විසඳුම් ඉදිරිපත් කිරීමේදී මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සහ ඒ ආශ්‍රිත සිද්ධීන්වල අදාළ කරුණුද ඉරිපත් කිරීමට විත්තිකාරියට අධිකරණය අවසර දී තිබේ.

කේ.එස්. උදයකුමාර්