මහා ප්‍රපාතයෙන් බසය වැටෙන්නට ඉඩ නොතබා
තම ජීවිත පරිත්‍යාගයෙන් අන් අයගේ 
ජීවිත බේරු ලංගමේ නිලමේ මල්ලී


ලංගම බස් රථයේ තිරිංග පද්ධතිය අක්‍රීය වී හපුතලේ කන්දේ අවදානම් තැනකදී තම ජීවිතයට වඩා ජීවිත රැසක් බේරාගැනීම උතුම් කොට සලකා බස් රථය ගලක හප්පා දිවිදුන් විරල ගණයේ රියදුරෙකු පිළිබඳ පුවතක් පෙරේදා වාර්තා වුණා.
මෙම අනතුරින් බස්රථයේ ගමන් කළ විශාල පිරිසක් ජීවිත බේරාගත් නමුත් බස් රථයේ රියදුරු ඩිපෝ නිලධාරියෙකු හා මගියෙකු ලෙස ගමන් කළ පොලිස් නිලධාරියෙකු මරු දුටුවා.
හපුතලේ බෙරගල මාර්ගයේ
උඩුවිහාර ප්‍රදේශයේ ගමන් කරමින් තිබුණ බස් රථයේ බ්‍රේක් වදින්නේ නැති බව රියදුරුට දැනුණු පසු ඔහු කෑගසමින් රථය පදවා තිබෙන්නේ අවදානම මැදය. එම අවස්ථාවේ රථයේ සිටි ඩිපෝ නිලධාරියා හා පොලිස් නිලධාරී මහතෙකුද රියදුරු අසළට පැමිණ මෙම අවදානමින් බේරාගැනීමට උපදෙස් දෙමින් සිට ඇත. අධික


වේගයෙන් ධාවනය වූ බස් රථය ඉදිරියෙදී වම් පස ප්‍රපාතයක් වෙත ඇදෙමින් පවතින නිසා එයින් බේරාගැනීමට කළ හැකි එකම විකල්පය පාරේ දකුණු පැත්තක තිබුණ ගල් සහිත නැම්ම වෙත හැරවීම බව රියදුරුට පෙනී ගොස් ඇත.

වේගයෙන් එහි හැප්පුවොත් රථය නතර වියහැකි නමුත් එය රියදුරු අසුන පැත්තෙම වන නිසා තමාට අනතුරක් විය හැකි බව රියදුරුට අවබෝධවී තිබුනි. නමුත් වඩා වටින්නේ ජීවිත රැසක් බේරාගැනීම බව කල්පනා කළ රියදුරු මහතා වහාම රථය දකුණු පසට කපා ඇත.

වේගයෙන් රථය ගල් සහිත නැම්මේ හැපී නතරවී ඇති අතර රියදුරු එතැනම මියගියේය. ඩිපෝ නිලධාරියා සහ පොලිස් නිලධාරියාද පසුව මියගොස් තිබුණි. එහි ගමන් කළ පිරිසකට තුවාල සිදුවුණ නමුත් විශාල ජීවිත ප්‍රමාණයක් එයින් බේරිනි.
මෙම මාරක ගමනේදී මියගිය රියදුරා ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝවේ සේවය කළ කීර්ති බණ්ඩාර පද්මසිරි හෙවත් නිලමේ මල්ලීය.

තුවාල ලැබූවන් 23 දෙනෙකු බණ්ඩාරවෙල හා හපුතලේ රෝහල් වලට යොමු කර තිබුණි.
මේ ආකාරයට රථය දකුණු පසට හරවනු වෙනුවට වම් පසින් ගියේ නම් විශාල බෑවුමින් වැටී ජීවිත රැසක් අහිමි වන්නට ඉඩ තිබූ මහා ඛේදවාචකයක් වාර්තා වනු ඇති බව පොලිසිය පසුව ප්‍රකාශ කළා.
රියදුරු තම ජීවිත පරිත්‍යාගයෙන් සිදු කළ කැප කිරීම වීර ක්‍රියාවක් ලෙස මේ වනවිට සමාජ මාධ්‍ය තුළද ඇගයීමට ලක්ව තිබේ.