විභාග දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇතැයි කියන විභාග අක්‍රමිකතා ගණනාවක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කොට ඇත.

කලක් තිස්සේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සහ පසුගිය කාලය තුළ විභාග දෙපාර්තමේන්තුව තුළ
සිදුවූවා යැයි කියන දූෂණ පිළිබඳව මෙම විශේෂ විමර්ශනය ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ
ප්‍රකාශකයෙක් පැවසීය.
අදාළ විමර්ශනය සඳහා මේ වන විට විශේෂ විමර්ශන කණ්ඩායමක්

සම්බන්ධ කරගෙන ඇති අතර එම විශේෂ විමර්ශන කණ්ඩායම කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කොට ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීම, උත්තර පත්‍ර පරීක්ෂා කිරීම, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම
ඇතුළු ඊට අදාළ අංශ ගණනාවක් පිළිබඳව සහ විභාග දෙපාර්තමේන්තුවට අදාළ කාර්යයන් කිහිපයක් පිළිබඳව මෙහිදී විමර්ශනයක් සිදු කිරීමට අමාත්‍යවරයා විසින් අදාළ විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබාදී තිබේ.
පසුගිය කාලය තුළ සිදුවූ රාජ්‍ය පරිපාලන විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම එම ප්‍රශ්න වෙනත්
‍පොතක අඩංගුවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යවරයා මෙම විමර්ශනය කිරීමට නියෝග කර තිබේ.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවට එල්ල වූ චෝදනා මෙන්ම ලැබුණු පැමිණිලිද මෙම විමර්ශන සිදු කිරීමට හේතු වූ බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මේ වන විට මෙම විශේෂ විමර්ශන කණ්ඩායම විභාග දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න පත්‍ර සම්පාදනය කිරීමට සම්බන්ධ වන බාහිර පාර්ශ්වවලින්ද ප්‍රශ්න කොට ඇති බවත් එම ප්‍රකාශකයා කියා සිටියේය.

ඒ අනුව එම විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවත් විමර්ශන අවසන් වූ පසු යම් වරදක් සිදුකොට ඇත්නම් තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
(සුජිත් කෝනාර)