පසුගියදා පාසලේදී වමනය කළ සිසුවියක ගැබිණියකැයි කොන් කර පාසලින් නෙරපූ විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියෙන් පසුව
පාසල්වලදී ගුරුවර ගුරුවරියන්ගෙන් සිසු සිසුවියන්ට සිදුවන විවිධ හිංසන වැළැක්වීම සඳහා ගුරු මණ්ඩල
දැනුවත් කිරීමේ විශේෂ

වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි මරිනි ද ලිවේරා මහත්මිය පැවැසුවාය.

මේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ බවද ඒ සඳහා තම අධිකාරියේ විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවද ඒ මහත්මිය කීවාය. ගුරුවර ගුරුවරියන් හා සිසු දරුවන් අතර මනා සබඳතාවක් පැවැතිය යුතුව ඇති බවද එම සිසු දරුවන්ගේ හැඟීම් තේරුම් ගැනීමට ගුරුවරුන් නිරන්තරයෙන්ම සිහි තබා ගතයුතු බවද මොනයම් හේතුවක් නිසාවත් සිසුන්ට අමානුෂිකව සැලකීමට හෝ ඔවුන්ව පාසලෙන් නෙරපා හැරීමට කිසිදු ගුරුවරයකුට අයිතියක් නොමැති බවද ඒ මහත්මිය කීවාය.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තම අධිකාරිය වෙත ප්‍රතිපාදන ලැබී ඇති බවද පැවැසූ සභාපතිනිය වැඩිදුරටත් පවසා සිටියේ සිසු දරුවන්ට හිංසා සිදු කරන ගුරුවර ගුරුවරියන්ට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද එම දඬුවම් පිළිබඳව ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ සඳහන්ව ඇති බවයි.


කුමුදු උපුල් ශාන්ත