පරණ ශීතකරණ ඉවත් කර නව ශීතකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුව තීරණය කර ඇත.
මේ යටතේ ලීටර් 190 සිට ලීටර් 250 දක්වා වන ශීතකරණ ලක්ෂයක් පමණ ඉවත් කිරීමට සිදුවන අතර එමඟින් ගිගාවොට් පැය 162ක පමණ බලශක්තියක් ඉතිරිකර ගත හැකි බව එම මෙහෙයුම් කමිටුව පවසයි.

මෙහිදී පරණ

ශීතකරණ ඉවත්කර නව ශීතකරණ ලබාදීමට වැයවන මුදල නව ශීතකරණ භාවිතයෙන් ඉතිරිවන විදුලි ඒකක ගණනට අදාළ වටිනාකමින් වසර 05ක් තුළ අය කරගැනීමට සුදුසු ණය ක්‍රමයක් සකස් කිරීමට ද නියමිතය.

ඉවත් කරන පරණ ශීතකරණ සඳහා රුපියල් 5000ක මිලක් නියම කර පරිසරයට හානියක් නොවන ලෙස විනාශ කිරීමටද යෝජිතය.
මෙරට භාවිත කරන ශීතකරණ වර්ග 30න් 24ක් මේ වන විට පරීක්ෂා කර අවසන් කර ඇති අතර මහවැලි සංවර්ධන හා පරිසර අමත්‍යාංශයත් ඕසෝන් පිළිබඳ අංශයත් මේ වැඩසටහනට අදාළව මෙහෙයුම් උපදෙස් සකස් කර අවසන් බවද එම කමිටුව සඳහන් කරයි.

මේ අදහස් පළ වූයේ ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණය පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමකදීය.

හර්ෂනී අර්සකුලරත්න