සරණ දුමින්ද අනුෂ ලලිත්
3 වාට්ටු රෝහලේදී සෙට් වෙලා

රාජගිරිය ෂැන්ඩොන් එකෙන්
චයිනීස් ගෙන්නගෙන කාපු කතාව



සිල්රෙදි වංචාව නිසා සිරයට නියමවූ අනුෂ හා ලලිත් මෙන්ම භාරත ඝාතනය නිසා සිරයට නියමවූ දුමින්දත් විවිධ දූෂණ චෝදනා නිසා සිරයට නියමවූ සරණත් මේ දිනවල කල්ගත කරන්නේ වැලිකඩ
බන්ධනාගාරයේ 3 වාට්ටුවේය.බන්ධනාගාර ව්‍යවහාරයේදී සුපිරි වාට්ටුව ලෙස නම් කර තිබෙන මෙම ස්ථානය ප්‍රභූ සිරකරුවන් සිර දුක වෙනුවට සුර සැප විඳින ස්ථානයක් ලෙස ප්‍රකටය.
අනුෂ හා ලලිත්ට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කළද පැය 24 ක් යන්නට මත්තෙන් අක්මාව ඉදිමී
බරපතල දියවැඩියාවෙන් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශ ලැබීම නිසා ඔවුන් මෙම රෝහල් වාට්ටුවට මාරු කරන ලදි.
එතරම් අමාරු තත්වයක සිටි ඔවුන් දෙදෙනා පෙරේදා දහවල් ආහාරය ලබාගත්තේ කිසිදු ලෙඩක් නැති ගාණට බව අභ්‍යන්තර ආරංචි අනාවරණය කරයි.
 රාජගිරියේ පිහිටි සුපිරි චීන අවන්හලක් වන ‘ෂැන්ඩොන්’ රෙස්ටොරන්ට්

එකෙන් ගෙන්වා ගත් ක්‍රිස්ටල් රයිස් සමග චීන චොප්සි සහ ඩෙවල් කුකුළු මස් සහිත ආහාර වේලක් ඔවුන් ලබාගෙන තිබේ. මෙම ආහාර වේල සිරගෙදර 18 දෙනෙකු විසින් ආහාරයට ගන්නා ලද තරම් විශාල ආහාර වේලක් බවද පසුව වාර්තා විය.

දඬුවම් නියම වූ හෙවත් අච්චු කරන ලද සිරකරුවන්ට බන්ධනාගාර රෝහලේ දී වුව පිටතින් ආහාර ලබා ගැනීමට අවස්ථාව නැත. රිමාන්ඩ් සිරකරුවන්ට නම් ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරිනිය ගේ නිර්දේශය මත හා බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය මත බන්ධනාගාර රෝහලේ දී නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවස්ථාව ඇත. එයද එක් පුද්ගලයෙකුට ප්‍ර‍මාණවත් ආහාර වේලක් පමණක් බව වාර්තාවේ.

පෙරේදා (09) දිනයේ දිවා ආහාර සඳහා අවසර පත් 34 ක් නිකුත් කොට ඇති අතර බන්ධනාගාර රෝහලේ නේවාසිකව ‘සිර සැප’ විඳින 130 කට වැඩි පිරිසකට එමගින් ආහාර ලැබී ඇත.
මෙම හෙළිදරව්වෙන් පසුව ඊයේ

වැලිකඩ සිරගෙදර ඉදිරිපිට රන්ජන් රාමනායක නි.ඇමතිවරයා ඇතුළු පිරිස් සිරකරුවන්ට වන අසාධාරණය සම්බන්ධ උද්ඝෝෂණයක නිරත විය.
චීන කෑම ගෙන්වා ගෙන කෑම සම්බන්ධයෙන් තමා සොයා බලන බව එම අවස්ථාවේ එතැනට පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා දන්වා සිටියේය.

ඒ අනුව ඊයේ සවසම බන්ධනාගාරයේ 3  වාට්ටුවේ හදිසි පරීක්ෂාවක් සිදු කළ අතර වාට්ටුවේ තිබී තහනම් භාණ්ඩ කිහිපයක් හමුවී තිබෙයි. ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඞ් පත් දෙකක් එහි තිබී හමුවී ඇති නමුත් ඒවාට අයිතිකරුවන් නැති බවද වාර්තා විය.