මැදිරිගිරියේ මිරිස්හේන ජනපදයේ පැවැති ජනහමුවකදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සිටි ස්ථානයට පැමිණ බොහෝ වේලාවක් එතුමා සමඟ සතුටුසාමීචියේ යෙදීසිටි දනුල්‍යා චනාදී දැරිය අතීත භවයකදී පැවැති
කිට්ටු සබඳතාවක් මේ භවයේදීද ඉදිරියට පැමිණීමක් යැයි ගිරිතලේ ධර්මවිජයාරාමාධිපති ප්‍රවීණ ජේ‍යාතිර්වේදී මහාචාර්ය ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ දේවානන්ද හිමියෝ මෙසේද පැවසූහ.
මම විශ්වාස කරන හැටියට මෙම දැරියට ජනාධිපතිතුමා සමඟ

අතීත භවයක ඉතාමත් කිට්ටු සබඳතාවක් තිබිය යුතු වෙනවා. ඒ කාලයේ මෙතුමා කෙරෙහි ආදරයක්, සෙනෙහසක් තිබෙන්නට ඕනෑ. මේ භවයේදී නම කියූ පමණින්ම එතුමා හමුවීමේ අදහසක් පහළ වූයේ ඒ නිසයි.
මේ දැරිය වයස අවුරුදු දෙකේදී පමණ රූපවාහිනියෙන් ජනාධිපතිතුමා දකිනකොටම හඳුනාගෙන තිබෙනවා. කොයි මොහොතකදී හෝ එතුමා හමුවීමේ අදහසක් දැරිය තුළ තිබුණා.

මෙවැනි සිද්ධීන් කොතෙකුත් අපට අසන්නට ලැබෙනවා. හොඳම උදාහරණය සමාජයේ යම් කෙනෙක් ඔබට හමුවූ විට ඔහු හෝ ඇය කෙරෙහි ප්‍රියමනාපයක් ඇතිවෙනවා.
ඔබගේ විරුද්ධවාදියෙක් තරගකාරයෙක් මුහුණට හමුවුණොත් එසේ වන්නේ නැහැ. මේවා අතීත භවයන් තුළ සිදුවූ ආකාරයටයි පවතින්නේ.
මෙය බුදු දහමේ හඳුන්වන්නේ ජාතිස්මරණ ඥානය වශයෙන්. (පෙර භවය පිළිබඳ දැනීම) මෙය කියවන ඔබටත් එම ඥානය තිබෙනවා.

මෙම දැරිය පෙර භවයක ජනාධිපතිතුමාගේ ජීවිතයට ආදරය කළ ඥාතියෙක්, මිත්‍රයෙක් විය හැකියි. ඒවා මේ ආත්මයේදීත් ඒ අයුරින්ම දැකගන්න ලැබෙනවා.
මෙම සිද්ධිය ගැන, ජාතිස්මරණ ඥානය පිළිබඳව දැක්මක් අවබෝධයක් ඇති අයට මා කියන මේ කරුණු අවබෝධ කර ගැනීමට හැකියැයි විශ්වාස කරනවා.
නොදැනුවත්කම නිසා මේ සිද්ධිය ගැන ඇතිකර තිබෙන මිථ්‍යා චෝදනා සියල්ලක්ම බැහැර කරනවා යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

තමන්කඩුව - ගාමිණී ඔබේසේකර