බිරියට පොල්ලකින් පහරදී මරාදැමූ සැමියාද ගෙලවැලලාගෙන මියගිය සිදුවීමක් පෙරේදා (11දා) මොරලිය, මොරලිඔය වත්තේ සිදුවී ඇති බව රුවන්වැල්ල පොලිසිය පවසයි.
මරාදමා ඇති බිරිය මොරලිඔය වත්තේ වතු කාර්යාලයේ සේවයේ නිරතව සිටි ආර්. එම්. නිරෝෂා කුමාරි නමැති 34 හැවිරිදි එක්දරු මවක බවද

ගෙලවැලලාගෙන ඇත්තේ කේ. අමිල නුවන් රණසිංහ (36) නමැති ඇගේ සැමියා බවද පොලිසිය කියයි.
දෙදෙනා අතර ඇතිවූ පවුල් ආරවුලක් මෙම සිද්ධියට මුල්වී ඇති බව වාර්තා වේ.
පෙරේදා (11දා) වතු කාර්යාලයේ සේවය කරමින් සිට දිවා ආහාරය සඳහා නිල නිවෙසට ගිය බිරිය සමඟ ආරාවුලක් ඇති කරගෙන සිටි සැමියා ඇගේ හිසට පොල්ලකින් පහරදෙන ලදුව බරපතළ තුවාල ලබා ඉදිරි ‍ෙදාර අසල ලේ ගලන තුවාල සහිතව මැරී වැටී සිටි බවද පොලිසිය කියයි. එසේම ඊට මීටර් 75ක් පමණ දුරින් පිහිටි පාළුවට ගිය නිල නිවෙසක් තුළ සැමියාද ගෙලවැලලාගෙන මියගොස් සිටියදී සොයාගත් බවද පොලිසිය පවසයි.

රුවන්වැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් පුෂ්පකුමාර මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් පසු මෘත ශරීර කරවනැල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (12දා) පැවැත්වීමට නියමිතව තිබිණ.

රුවන්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.

රුවන්වැල්ල - එස්. ආර්. සමරක්කොඩි