බදු නොගෙවන අයට 
ඉදිරියේ ලේසි නෑ
අලුතින් ගේන ටැක්ස් නෙට් එකට අහුවෙනවමලු


බදු ගෙවීම පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීම සඳහා මෙරට සුවිශේෂී ආයතන තිහක සම්බන්ධතාවයෙන් යුතු ජාල පද්ධතියක් සැකසෙමින් පවතින බවත් ඒ හරහා මෙරට සියලු සමාගම්, ආයතන හා පුද්ගලයන්ගේ වත්කම්, ආදායම්, ගනුදෙනු හඳුනාගෙන බදු ගෙවිය යුත්තන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට ඉදිරියේ කටයුතු කරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඒ. නඳුන් ගුරුගේ පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23දා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඔහු සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
පුද්ගලයන් ආයතන හා සමාගම් සම්බන්ධීකරණය වන ලෙස සැකසුණු මේ නව ජාල පද්ධතිය හරහා
අදාළ ආයතනවල සිදුවන ගනුදෙනු ආදිය සම්බන්ධීකරණය කොට බදු ගෙවිය යුත්තන් හඳුනා ගැනීමට නියමිත බව ද හෙතෙම පැවැසීය.

මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකු පිළිබඳවම සැකසෙන ආකෘතිමය ගොනුවක් මේ ජාලයට සම්බන්ධ වන බවත් මේ ජාලය සැකසීමේ වැඩකටයුතු එළැඹෙන දෙසැම්බරයේ නිමාවට පත් වන බවත් ඔහු පැවැසුවේය.
ඒ අනුව 2018 වර්ෂයේදී මෙරට වයස අවුරුදු දහ අටට වැඩි සෑම පුරවැසියකුටම අනන්‍යතා අංකයක් හිමිවන බවත් ඒ අනන්‍යතා අංකය ඔස්සේ සියලුම පුද්ගලයන්ගේ වත්කම් ගනුදෙනු ආදිය මේ ජාලයට හසුවන බවත් හෙතෙම පැවැසීය.

මේ ක්‍රමවේදය හරහා බදු දැලට හසුකර ගැනීමට අපහසු වූ බදු පැහැර හරින ආදායම් ලාභීන් මේ හරහා හඳුනා ගැනීමට හැකිවන බව ද ඔහු වැඩිදුරටත් පැවැසුවේය.
බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට හසුකර ගැනීමේ නව ක්‍රමවේද රැසක් මේ වන විටත් දියත් කර ඇති බවත් මෙය ඉන් එක් ක්‍රමවේදයක් පමණක් බවද ඔහු පැවැසුවේය.
බදු ගෙවන්නන් අතරින් සෘජු බදු අය කිරීම වැඩි කර ගැනීමටත් වක්‍ර බදු අඩුකර මෙරට සාමාන්‍ය ජනතාවට ඒ හරහා සහන සැලසීමත් මෙවැනි බදු පැහැර හරින්නන් කොටුකර ගැනීමේ රජයේ මූලික අරමුණ බව ද හෙතෙම පැවැසීය.

බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් තමා ඉල්ලා සිටින්නේ බදු ගොනුවක් විවෘත කර ගන්නා ලෙසත් නැතහොත් ජාලගත වීම හරහා හසුවන බදු පැහැර හරින්නන්ගේ වත්කම්, ආදායම් පිළිබඳ තොරතුරු අනුව ඔවුන්ගේ අතීතය දක්වා ගොස් උපරිම දඩ නියම වීමට ඉඩ ඇති බවත් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

හර්ෂනී අර්සකුලරත්න