යුද හමුදාවේ සේවය කරන අතරතුර නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටි අවස්ථාවලදී අමතර ආදායමක් ලබාගැනීමේ අරමුණින් යතුරුපැදියකින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩාගන්නා යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයකු තඹුත්තේගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්
අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර යුද හමුදා
බුද්ධි අංශ සෙබළා එප්පාවල කටියාව යාය 2 ප්‍රදේශයේ පදිංචි 24 වියේ පසුවන පලාලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන්නකු බව පොලිසිය පවසයි. නිවාඩුවට නිවෙසට පැමිණි සෑම අවස්ථාවකම මෙසේ රන් මාල කැඩීමේ නිරතව ඇති බව පවසන පොලිසිය මෙවර නිවාඩුවට පැමිණි අවස්ථාවේදී ද කාන්තාවන් දෙදෙනකුගේ රන් මාල දෙකක් කඩාගෙන ඇත.

තඹුත්තේගම, එප්පාවල, තලාව ප්‍රදේශවල මාර්ගයේ තනිව ගමන් කරන කාන්තාවන්ගේ මාල කඩාගැනීම හා වෙළෙඳසල්වල වෙළෙ¼දාම් කරන කාන්තාවන් තනිව සිටින අවස්ථාවන් බලා භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන අයුරින් පැමිණ සැකකරු මෙසේ ඔවුන්ගේ ගෙල බැඳි මාල කඩාගෙන තිබේ. සැකකරු විසින් සොරාගන්නා ලද ලක්ෂ තුනක් පමණ වටිනා මාල පහක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙසේ සොරාගන්නා ලද රන් මාල උකස් කර එම මුදල් තම ප්‍රේමවන්තියගේ අධ්‍යාපන කටයුතුවලට ලබාදෙන බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ. සැකකරු විසින් මාල කැඩීමට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තඹුත්තේගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පාවල-කුමාර දිසානායක