ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රියාවලිය විහිළුවට ලක් කර ඇති බව. රවි කරුණානායක මහතා පවසයි.


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් එය විශ්වාසයක් බවට ඔප්පු කරන බව ද අමාත්‍යවරයා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

සේනාරත්න මහතා වත්මන් යහපාලන රජය ඇති කිරීමේ පුරෝගාමියෙකු වු බවත් එය දරා ගැනීමට නොහැකි ඒකාබද්ධ විපක්ෂය මෙවැනි ක්‍රියාවන් අනුගමනය කරමින් සිටින බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

රාජිත සේනාරත්න මහතා විසින් මෙරට සෞඛ්‍ය සේවයට සහන රැසක් ලබා දී ඇතැත් ඒ සම්බන්ධයෙන් කිසිවෙක් කතා නොකරන බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

ඒකාබද්ධයේ ඇති වැරදි ක්‍රියාවන් වසන් කිරීමේ අභිප්‍රායෙන් මෙවන් ක්‍රියාවන් අනුගමනය කරන බවත් මෙහිදී තව දුරටත් අවධාරණය කෙරිණි.

මෙම මාධ්‍ය හමුවට එක් වු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ, ඒකාබද්ධ විපක්ෂය විටින් විට විශ්වාසභංග යෝජනාවන් ගෙන ඒම තුළින් විශ්වාසභංග යෝජනාවක් සඳහා ඇති වටිනාකම් වියැකෙන බවත් කොතරම් විශ්වාසභංග යෝජනාවන් ගෙන ආවද ඒ සියලු යෝජනාවන් තුනෙන් දෙකකට වැඩි බලයකින් පරාජය කිරීමට කටයුතු කරන බවත්ය.