තම රූමත් බිරියට පොල්ලකින් පහරදී ඇය ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකු පර්යේෂණ සාක්කි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට ඊයේ (9දා) මරණ දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම ගාලදිවුල්වැව ගාලවැව පදිංචි ජයසේනගේ ජානක නමැති හිටපු යුද හමුදා කෝප්‍රල්වරයකුටය.
2007 වසරේ සැප්තැම්බර් මස 22 දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් නොච්චියාගමදී ආරියපාලගේ සුජාතා වීරසේකර නමැති
විත්තිකරුගේ බිරියට පහරදී ඇය ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණි.

මන්නාරම පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සේවය කරමින් සිටියදී විත්තිකරු මෙම අපරාධය සිදුකර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

ඇසින් දුටු කිසිදු සාක්කියක් නොමැතිව මෙම නඩුව විභාග කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ පර්යේෂණ සාක්කි පදනම් කරගෙන පමණක් වීම විශේෂත්වයකි.
විත්තිකරු වරදකරු කර ඔහුට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් සඳහන් කළේ මෙම නඩුවට අදාළ පර්යේෂණ සාක්කි සියල්ල සමස්තයක් ලෙස ගත් විට තමාට එළැඹිය හැකි එකම නිගමනය වන්නේ විත්තිකරු වරදකරුම බව පමණක් බවයි.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවද ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ වරදට තමා විත්තිකරුට මරණ දඬුවම නියම කරන බවද ස්වකීය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් තවදුරටත් කීවේය.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි කුරුණෑගල මහ රෝහලේ වත්මන් අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතා ඇතුළු 13 දෙනකු නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

මෙම නඩුවේ මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ළහිරු ජයමාන්න මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ආනන්ද ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.
නොච්චියාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන මෙහෙයවිය.

අනුරාධපුර - ආනන්ද කරුණාදාස