රථ වාහන වැරදි කිහිපයට
25000 දක්වා දඩ
- කැබිනට් අනුමැතිය ගැටලුවක්


රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් රුපියල් 25000 දක්වා දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කළ බවට ඊයේ වාර්තා වූ නමුත් එය නීතිමය වශයෙන් කෙතරම් දුරට වංලංගුද යන්න කථාබහට ලක්ව තිබේ.
අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති වැරදි වන්නේ වලංගු බලපත‍්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත‍්‍රයක් නොමැති අයෙකු
රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම,
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනයයි.

ඊට අමතරව වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදිවලට රුපියල් 2,000ක දඩයක්ද නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා රුපියල් 10,000ක දඩයක්ද නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කිරීමටද දඬුවම පනතේ ප‍්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමටද අනුමතවී ඇත.

මෙම වැරදි වලට වැඩිකළ දඩ මුදල් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පමණින් ක‍්‍රියාත්ම නොවන බව නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා කියා සිටී. ඔහු පැවසුවේ මෙම සංශෝධන ක‍්‍රියාත්මක වීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ දී සම්මතවී කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බවයි.
මෝටර් රථ වාහන වැරදි සම්බන්ධයෙන් වූ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක් බවද ඔහු කියා ඇත.