ලන්ච් ෂීට්, සිලිබෑග්, රෙජිෆෝම් භාවිතය නිෂ්පාදනය හා අලෙවිය ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට තහනම්
කෙරෙන ගැසට් පත්‍රය අද
හෙටම නිකුත් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පැවැසීය.මේ අනුව ජාතික, ආගමික, සමාජයික, සංස්කෘතික හා දේශපාලන රැස්වීම් සහ උත්සව ඇතුළු සියලු සැරසිලි කටයුතුවලදී පොලිතින් භාවිතය තහනම් කෙරේ.

පොලිතින් භාවිතය අවම කිරීම සඳහා කෙටි ක්‍රියාමාර්ග 12ක්, මධ්‍යකාලීන ක්‍රියාමාර්ග දෙකක් හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ගයන් ගන්නා බවද එම ක්‍රියා මාර්ග 2018 දක්වා ක්‍රියාත්මක වන අතර 2018 වන විට ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම පොලිතින් භාවිතය තහනම් කෙරේ.

මෙම තහනම නිසා ඇති වන අපහසුතා මඟහැරවීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි ජනතාව යොමු කිරීමට කටයුතු කරන බව පැවැසූ සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතා ඇතැම් නිෂ්පාදන ආයතන මෙම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා දී ඇති කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම තාක්ෂණ කමිටුවට භාරදී ඇති බවත් කීය.

ආරියරත්න ගනේගොඩ