මෙම වසරේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණවලින් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට තෝරාගත් සිසුන් පසුගිය 11 වනදා නව පාසල් වාරය සඳහා එක්වීමට නියමිතව තිබුණ නමුත්
අධ්‍යාපන ඇමතිවරයාගේ නියමියෙන් එය තාවකාලිකව ලබන සඳුදා 16 දක්වා කල් තබන ලදි.
ලංකා ගුරු සංගමය ඇතුළු සංවිධානත් දෙමාපිය පැමිණිලිත් සලකා තෝරාගත් සිසුන් ගැන නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍යවීම ඊට හේතුවයි.
ආසන්න පදිංචි පදනම යටතේ පාසලට ඇතුළත් කළ සිසුන් 147ක් ගැන පැමිණිලි ලැබී තිබෙන අතර

ඒ ගැනසිදු කළ පරීක්ෂාව අනුව 31 දෙනෙකුගේ පදිංචිය වංචනික බව තහවුරු කරගත් බව අධ්‍යාපන ඇමතිවරයා දන්වා ඇත.
කූඨ ලේඛන සකසා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ කර තිබෙන අය දරුවන් පදිංචි ලිපිනය ඇති නිවාස ලෙස තානාපති කාර්යාල, රථ ගාල්වල මුරකුටි, පල්ලි, ව්‍යාපාරික ස්ථාන, හදමින් පවතින ගොඩනැඟිලි උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසේ ලිපිනය, ඇතැම් මන්ත්‍රීවරුන් පවා නොදැන ඔවුනගේ නිවාස ලිපින මේ සඳහා සපයා ඇති බව මෙම පශ්චාත් පරීකෂණයේදී අනාවරණයවී ඇත.

කෙසේ වෙතත් පූර්ව පරීක්ෂණයේදී එම ලිපිනයන් අනුමත කර එකී වංචනික අයදුම්කරුවන් 31 දෙනෙකු ඇතුළු වීමට ඉඩ සලසා ඇ.ත්තේ කෙසේද යන්න ගැනත් මේ වනවිට තවත් පරීක්ෂණයක් ඇරඹී ඇත.
වංචා කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූ අතර කූට ලේඛන සකස් කොට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ දරන දෙමාපියන්ගේ ළමුන්ට පාසල් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාර නොගන්නා බවද දන්වා ඇත්තේ එම දරුවන්ට වෙනත් විකල්පයක් සොයාගන්නා ලෙස දැනුම් දෙමිනි.

ආදි ශිෂ්‍යයින්ගේ මැදිහත්වීමෙන් මුදල් ලබාගැනීමෙන් පවා පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම් ගැන පැමිණිලි ලැබී ඇති බවත්, ව්‍යාජ සහතික නිකුත් කරනු ලබන ග්‍රාමසේවක නිලධාරීන්ට පවා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.