රුපියල් 30කට අලෙවි වන ලොතරැයි පතක මිල රුපියල් 20 දක්වා පහත දමනතුරු අද සිට දිවයින පුරා අඛණ්ඩව ලොතරැයි පත් අලෙවි කිරීමේ කටයුතුවලින් ඉවත්වන බවත් ආණ්ඩුව ඊට ප්‍රතිචාර නොදක්වන්නේ
නම් මාරාන්තික උපවාසයකට යොමුවන බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තම සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට පසුගියදා පත්කර ගත් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන්ද සහාය පළ කළ බවයි. වසරකට බිලියන 20කට අධික මුදලක් ලොතරැයි අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බවත් එවැනි ආයතනයක් විනාශ කිරීමට එරෙහිව 19 වැනිදා (බ්‍රහස්පතින්දා) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත විරෝධතා පාගමනක් සිදුකරන බවත් හෙතෙම පැවැසීය.

ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් මේ වන විට අලෙවිය සියයට හතළිහක් (40%) දක්වා පහත වැටී ඇති අතර ලොතරැයි අලෙවිකරුවන්ගේ ආදායම ඊට සාපේක්‍ෂව පහළ ගොස් ඇති බවද මාරඹගේ මහතා සඳහන් කළේය.

(සිදත් මෙන්ඩිස්)