සෝරත ‍පොඩිනමගේ චරිතය
සාමණේර භික්ෂුවට අපහාසයක්

- හෑගොඩ විපස්සි හිමි


මේ කාලයේ දෙරණ නාලිකාවේ විකාශය වන ප්‍රකට සිඳු ටෙලිනාට්‍යයේ සාමණේර චරිතය සංඝ ශාසනය සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජ ගත කරන බව පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් පෙන්වා දෙනවා. දරුවන් දෙස හෙලනා දෘෂ්ටියෙන් සාමණේර චරිතය විවරණය කිරීම නොගැළපෙන දෙයක් බවත් එය ඒ ආකාර නොවන සැබෑ සංඝ පරම්පරාව වැරදි අර්ථ දැක්වීමකට ලක්කිරීමක් බවත් පෙන්වා දෙන උන් වහන්සේ ශාසන විනාශය නමැති අපචාර ක්‍රියාව දරුවකු ලවා
මෙම නිර්මාණකරුවන් සිදු කරන බවද දන්වා තිබේ.
පුවත්පතකට ලිපියක් සපයන උන් වහන්සේ මේ ගැන මෙසේ පැහැදිලි කර තිබේ.
‘ශතවර්ෂ 26 වැනි දීර්ඝකාලයකට පෙර ආරම්භ වූ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට අතිශය හේතුවන සංඝරත්නයේ ප්‍රාරම්භක අවස්ථාව සාමණේර අවධියයි.

එහිලා බෞද්ධ ජනතා විඥානයේ ‍ලේ මස් නහර ඇට, ඇට මිදුලු දක්වා කා වැදී ඇති භික්ෂුන් වහන්සේ විෂයෙහි අතිශය ගෞරවනීය පූජනීය වන්දනීය භාවය පරපුරෙන් පරපුරට අඛණ්ඩව මේ දක්වා පවතියි. එකී ඓතිහාසික ලාංකේය ජන විඥානයේ කිදා බැසගත් පූජනීය චරිතය පටු වපසරියක සිට උඩින් පල්ලෙන් අතගා සමස්තය උපහාසයට ලක් කිරීමක් සිඳු ටෙලිනාට්‍යයෙන් සිදුවෙයි. මෙය සාහසික ක්‍රියාවක් වශයෙන් අප හඳුන්වන්නේ සාහිත්‍ය මූලධර්මයන්හි උගන්වන විරෝධී කාව්‍ය දෝෂය මත පිහිටාය. සිඳු එංගලන්තයේ උපන් දරුවෙක් ඔහු ලංකාවට පැමිණි මොහොතේ පැහැර ගනියි.

 පැහැරගත් අය ඔහු රැගෙන යන්නේ රජරට ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයකටය.
ගැමි අපූරු සංස්කෘතියකට  නෑකම් කියන මේ ප්‍රදේශයේ පිහිටි පන්සලක වෙසෙන සාමණේර භික්ෂුව ඔහුට හමුවෙයි. මේ ඔස්සේ  මෙම ටෙලිනාට්‍ය විකාශය වේ. මේ පිළිබඳව පුවත් පතක පළ වූ ලිපියක ‘ ලොකු හාමුදුරුවන්ගේ දර දඬු පාලනය මත වැඩෙන ‍පොඩි හාමුදුරුවන්ගේ තනි නොතනියට සිටින්නේ ඇබිත්ත, මාමාත්. සරණ නම් වූ පුසාත් පමණයි. සරණ සමග කෙළි දෙලෙන් පසුවන ‍පොඩි හාමුදුරුවන්ට සිඳු මුණ ගැසෙන්නේ අහම්බෙනි’ යනුවෙන් සඳහන් වෙයි. මේ හැඳින්වීම සමග භික්ෂු චරිතයට මරු පහරක් ගසන අයුරු ටෙලි නාට්‍යයෙන් පෙනෙයි.

මෙහි තේමා ගීය රචනා කරන්නේද නිෂ්පාදන ජනක සිරිවර්ධනයි. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා යටතේ ශික්ෂණය ලබන සාමණේර භික්ෂුවක් පිළිබඳ මෙම කලාකරුවා බලන්නේ අතිශය පටු මාවතක සිටය. එය නිදසුනක් වශයෙන් ‘දෙන්නා දෙතැනක තියා ගෙන පවන් හලනවද අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද’ පෙන්වා දිය හැක. ළමයෙක් පැවිදි වූ විට ගුරු හාමුදුරුවරු ආදරයෙන් කරුණාවෙන් ආරක්ෂා කරති.

ඇතැම් අවස්ථාවකදී දක්වන දුර්වලතාව සමස්ත භික්ෂු ශාසනය කෙරෙහි විවරණය කිරීම සාවද්‍යය. සරලව පැවැසුවොත් අපවත් වු ස්වාමින්වහන්සේලා නොව  නූතනයේ වැඩ සිටිනා විශිෂ්ට සේවාවක යෙදෙන ස්වාමීන්වහන්සේලා කීප නමක් වුවද  සිතා උන්වහන්සේලාගේ කුඩා අවධිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් මේ බව පැහැදිලිය. දරුවන් දෙස හෙලනා දෘෂ්ටියෙන් සාමණේර චරිතය විවරණය කිරීම වැරදිය.

සෝරත චරිතය  රඟ දක්වන  දරුවා ලවා ශාසන විනාශයේ අපචාර ක්‍රියාවක යෙදීම සාධාරණදැයි මේ ටෙලිනාට්‍ය නිෂ්පාදකයන්ගෙන් විමසිය යුතුය. හුදෙක් මෙම ටෙලිනාට්‍යයේදී සිදු වන්නේ දරුවා අපචාරයේ යෙදවීමකි.‘