මහඔය නව ජලසම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පෙරේදා (19දා) පෙරවරුවේ මෙසේ අදහස් පළ කළේය.
‘මේ රට දියුණු කරන්න අවශ්‍ය මුදල් හා සම්පත් වගේම ජනතාවට අවශ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති
කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අපි මේ කාලසීමාව තුළදී අද ආණ්ඩුව විවේචනය කළා කියලා සුදු වෑන් යවන්නේ නෑ. පසුගිය සතියේ මම පදනම් ආයතනයේ කළ කතාවක් අල්ලගෙන බොහෝ විවේචන ඇති කරනවා මම දැක්කා. ඒ විවේචන කරන අයගෙන් මම අහන්නේ 2015 ජනවාරි 8ට කලින් ඔහොම මඩ ගහන්න පුළුවන්කමක් තිබුණද ජනාධිපති කෙනකුට. ඔය කතා කරන වචන හා භාෂාව ඒ කාලයේ භාවිත කරන්න පුළුවන්කම තිබුණද? එහෙම වුණා නම් එයාලට පැය 24 ඇතුළත ලැබෙන්නේ සුදු වෑන් තමයි. මම ජනාධිපති වෙන්න කලින් මේ රටේ ජනතාවට නිදහසේ දුරකතන ඇමැතුම් දෙන්න බෑ ටැප් කරනවා. දැන් නිදහස ලැබිලා තියෙනවා.

සමහර අයට ඒ දේවල් අමතක වෙලා. මට මතකයි ඉස්සර ප්‍රා. මන්ත්‍රිලා තවත් මන්ත්‍රි කෙනෙක්ට කතා කරන්නේ නැහැ. ඇමැතිවරයෙක් තවත් ඇමැතිවරයෙක්ට කතා කරන්නේ නැහැ දුරකතනයෙන්. එහෙම කාලයක් තිබුණා මේ රටේ. ඒ කාලය තමයි අපි අවසන් කළේ.

මොනවද කළේ කියලා අහන අයට මම කියන්නේ මිනිසුන්ට අවශ්‍ය ඒ නිදහස අපි දීලා තියෙනවා. ඒවා මිල මුදල්වලට වඩා අවශ්‍ය දේවල්. අද තිබෙන විරෝධතා පාගමන්වලට, අන්තර්ජාලය හරහා කතා කරන දේවල්. ඒ කාලයේ කළා නම් එයාලට ලැබෙන පිළිතුර එයාලා දන්නවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මගේ කාලසීමාව තුළ ඒ ලබාදීලා තියෙන නිදහස ඉතා යහපත්ව භුක්ති විඳිමින් මට මේ තරම් ප්‍රහාර එල්ල කිරීම ගැන. ඒ ප්‍රහාර එල්ල කරන සෑම කෙනෙක්ම කරුණු නිවැරැදිව අවබෝධ කර නොගෙන තියෙනවා. ඒ බොහෝ අය ඒකපාර්ශ්වික වෙලා තියෙනවා. ‘