කටුනායකට ආ එමිරේට්ස් යානයක වැසිකිළියේ 
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මළ සිරුරක්

ඩුබායි සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරන ලද ගුවන් යානයක වැසිකිලියක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. ඊයේ(19දා) ඊ. කේ. 650 දරන එමිරේට්ස් ගුවන් යානය උදෑසන 8.30ට කටුනායකට ගොඩ බැසීමට සූදානම්ව තිබුණ අවස්ථාවේ ගුවන් සේවිකාවන් මගීන්ට බෙල්ට් පළඳින ලෙස දැනුම් දීම් කරමින් යද්දී එක් පුද්ගලයෙකු දීර්ඝ වේලාවක සිට
අතුරුදන්ව සිටින අයුරුත් යානයේ වැසිකිලියක දොරක් වසා තිබෙන අයුරුත් නිරීක්ෂණය වී තිබේ.

පසුව සිදු කරන ලද පරීක්ෂාවේදී එසේ අතුරුදන්වූ පුද්ගලයා එම වැසිකිලියේ ඇතුළේදී මියගොස් සිටියදී හමුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ සංචාරක වීසා මත ලංකාවට පැමිණීමට සිටි බ්‍රිතාන්‍ය ජාතික ජොන් ස්ටුවඩ් ප්‍රින්ගල් (72) නමැත්තකු බව පොලිසිය කියයි.
යානය කටුනායකට ගොඩ බැසීමට සූදානම්ව පියාසර කරමින් සිටි අවස්ථාවේදී ඔහු නොසිටි හෙයින් කලබලයට පත්වූ ගුවන් සේවිකාවන් තිදෙනෙක් ඔහු පිළිබඳ විමසිලිමත්වී තිබී ඇති අතර ඔහු අවසන් මොහොත වනතුරු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි බවටද ඔවුන් වාර්තා කර ඇත. ගුවන් යානයේ වැසිකිළිය තුළදී හඳුනාගත් මළ සිරුර පිළිබඳ විස්තර එම පුද්ගලයාගේ නිවැසියන් වෙත දන්වා ඇත.

මින් ඉහත පසුගිය ජූනි මාසයේද ඩුබායි සිට මැන්චෙස්ටර් බලා ගමන් ගත් එමිරේට්ස් යානයක මේ ආකාරයට බ්‍රිතාන්‍ය ජාතික 71 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබියදී හමු විය.
ඔහු හදිසි හෘදයාබාධ තත්වයක් නිසා මියයන්නට ඇති බවට සැක කෙරේ.