දුවට ලියුකේමියාව තිබුනාට
මෙහෙම නැතිවෙයි කියල හිතුනෙ නෑ..

දන්නවනම් ප්‍රයිවෙට් නැතුව ආණ්ඩුවෙ රෝහලකට දානව
-කිංස්ලි පීරිස්


ගායක කිංස්ලි පීරිස්ගේ දියණිය කවීෂා අනපේක්සිත ලෙස රුධිරගත පිළිකා තත්වයක් හේතුවෙන් වයස 12 දී සමුගෙන යාම පසුගිය සතියේ බොහෝ අයගේ සිත් සසල කරවන ආරංචියක් විය.
මෙවර සති අන්ත පුවත්පතකට අදහස් දක්වන කිංස්ලි කියා තිබුනේ කලක සිට තම දියණිය මෙම රෝගයෙන් පීඩා වින්දත් මෙම ආරංචිය තමා කිසිසේත් බලාපොරොත්තු නොවූ
තත්වයක් බවයි.

“මගේ දුව කවීෂාට අවුරුදු 12යි මාස ගාණක් වෙනවා. මේ වෙද්දි එයා හරිම ආදරණීය, අහිංසක, සුන්දර දරුවෙක්. 2004 ජනවාරි 04දා තමයි දුව අපේ කැදැල්ලට එකතු වුණේ. ඇයට බාල තව මල්ලි කෙනකුත් ඉන්නවා. පුංචිකාලේ ඉඳන්ම දුව ගීත ගයන්න, වාද්‍ය භාණ්ඩ වයන්න හරි දක්ෂයි. ඇය ඒ පැත්තෙන් දස්කම් නිතර නිතර පෙන්නුවා.
මැයි අග වගේ නිතර නිතර කැස්ස, හෙම්බිරිස්සාව හැදුණා. ජුනි මාසේ පළමු වැනිදා දුවට බෙහෙත් ගන්න එක්කගෙන ගියා. දෝස්තර මහත්තයා කිව්වා පරීක්ෂණ වගයක් කරන්න කියලා. ඒ පරීක්ෂණ වාර්තාවලදී තමයි අපි දැනගත්තේ දුවට ලියුකේමියාව කියලා. පුංචි කාලෙදි අපිට මේ ගැන දැනගන්නවත් රෝග ලක්ෂණයක්වත් පහළ වුණේ නැහැ.

එදා තමයි සේරම දැනගත්තේ. ඊට පස්සේ දුවව පෞද්ගලික රෝහලක නතර කළා. එතැනදි ‍දෝස්තරලා මගේ දුවගේ තත්ත්වය නරකයි කිව්වේ නැහැ. බේරගන්න පුළුවන් කිව්වා. ඔවුන්ගේ කීම විශ්වාස කරපු නිසයි ඇත්තටම මම රජයේ රෝහලකටවත් දුවව ගෙනිච්චේ නැත්තේ. මම ලොකු වියදමක් දරලා දුවව පෞද්ගලික රෝහලක නතර කළේ දුවගේ ජීවිතේ බේරගනියි කියන විශ්වාසයෙන්.
ඇත්තටම ඔවුන් මට කිව්වා නම් දුවගේ තත්ත්වේ බරපතළයි කියලා මම දුවව රජයේ රෝහලක නතර කරනවා. එහෙම වුණානම් සමහර විට දුව ජීවත්වෙයි. පසුගිය 28දා මම සංගීත සන්දර්ශනයකට ඉතාලි ගියා. එදාත් මම දුව බලන්න ගියාම දුව කිව්වා “තාත්තා පරිස්සමින් ගිහින් එන්න මම තව දවස් දෙක තුනකින් ගෙදර එනවා කියලා.” එයා සතුටින් සුවෙන් හිටිය නිසයි මම ඒ ගමන ගියේ.
දුවට මෙහෙම වෙයි කියලා දැනුණා නම් මම කීයටවත් ඒ ගමන යන්නේ නැහැ. 06දා මම ලංකාවට ආවේ දුවගේ මරණය ගැන දැනුම් දුන්නට පස්සේ. දැන් ඉතින් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මගේ බිරියට, පුතාට මේක දරාගන්න බෑ. කොයි අම්මටද තාත්තටද තමන්ගේ දුව අකාලයේ මෙහෙම මිය ගියාම දරාගන්න පුළුවන්. මගේ හිතේ තෙරපෙන දුක කොහොමහරි වාවගෙන මම දූගේ අම්මාගේ හිත හිමීට හදනවා. අපි තවම ජීවත් වෙන නිසා ජීවත් වෙනවා. ජීවිතේට ආසාවක් නැහැ. ඒත් මට මගේ පුතා වෙනුවෙන් වගකීම් සහ යුතුකම් ඉටුකරන්න ඕන නිසා මම ජීවත් වෙනවා.
මගේ දුවගේ අකල් සමුගැනීම තාත්තෙක් විදියට දරාගන්න අමාරු වුණත් කවදාවත් මම දුව වෙනුවෙන් සින්දුවක් හදන්නේ නැහැ. ඇය ගෙනාපු ආයුෂ ඔච්චරයි වෙන්න ඇති. මම ඇය වෙනුවෙන් කරන්න ඕන දාන, ධර්ම වැඩ ඉදිරියේදීත් කරනවා. මගේ දුවට වගේ ඛේදනීය ඉරණමක් මේ ලෝකේ කිසිම දරුවෙක්ට අත්වෙන්නෙපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.“