බංග්ලාදේශයේ අවන්හලේ
අයි එස් ප‍්‍රහාරය මැඩ පවත්වයි
ප‍්‍රාණ ඇපකරුවන් මුදාගනී

ශ‍්‍රී ලාංකිකයින් සිටියාද සැකයක්?

බංග්ලාදේශයේ ඩකා නුවර ගුල්ශාන් නමැති රාජ්‍ය තාන්ත‍්‍රිකයන් වාසය කරන ප‍්‍රදේශයේ පිහිටා තිබෙන අවන් හලකට ඊයේ රාත‍්‍රී අයිඑස් ප‍්‍රහාරයක් එල්ල වුණා.
හෝලි ආටිසන් නමැති මෙම ඉතාලියානු ආපන ශාලාවට වැඩි වශයෙන් විදේශිකයන් පැමිණෙන අතර ඊයේ රාත‍්‍රී 9.30 ට පමණ අවි රැගෙන පැමිණි ත‍්‍රස්තයින් 9 දෙනෙකු
අවන්හලේ ප‍්‍රධානියා බියට පත්කර එහි සිටි අය

ප‍්‍රාණ ඇපයට ගෙන තිබුණා. එම අවස්ථාවේ කලබල ඇති කළ ආර්ජන්ටිනා ජාතිකයෙකු සහ පිරිස මුදවාගන්නට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් මරු දුටුවා.
අද උදෑසන වනවිටත් ත‍්‍රස්ත පිරිස ප‍්‍රාණ ඇපකරුවන් ඇතුළත තබාගෙන සිටි අතර ඇතුළේ සිටි එක් බංග්ලාදේශ ජාතිකයෙකුගේ දුරකථනයකින් පණිවිඩයක් ලබාදෙමින් පොලිසියට දන්වා තිබුනේ එම ස්ථානය වැටලීමට උත්සාහ කළොත් සියල්ලන් මරා දමන බවයි.
මෙම ප‍්‍රාණ ඇපකරුවන් ප‍්‍රමාණය ගැන විවිධ සංඛ්‍යාලේඛන පළව තිබූ අතර එක් වාර්තාවකින් කියැවුනේ 35 දෙනෙකු සිටි බවත් ඉන් 15 ක් බංග්ලාදේශ ජාතිකයින් බවත්ය. ඉතිරි 20 දෙනා අතරින් 5 දෙනෙකු ජපන් ජාතිකයින් බව ජපන් තානාපති කාර්යාලය දන්වා සිටි අතර 2 දෙනෙකු ශ‍්‍රී ලාංකිකයින් යයි තොරතුරු ලැබී ඇතැයි බංග්ලාදේශ වැඩබලන මහකොමසාරිස් මහත්මිය මාධ්‍ය වෙත දන්වා තිබුණි.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා අනුව කොමාන්ඩෝ භටයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද උදෑසන 7.40 ට පමණ බේරාගැනීමේ මෙහෙයුම ඇරඹූණ අතර උදෑසන 8.35ට පමණ වාර්තා වූයේ මෙම මෙහෙයුමේදී ත‍්‍රස්තයින් 5 දෙනෙකු මරු දුටු බවත් දෙදෙනෙකු පළාගිය බවත් එක් අයෙකු අල්ලාගත් බවත්ය. ඒ අතරම ප‍්‍රාණ ඇපකරුවන් සියල්ල මුදවා ගත් බවත් ඔවුන් ගිලන් රථ මගින් රෝහල් කරා ගෙන ගිය බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා දක්වා ඇත.
ප‍්‍රාණ ඇපකරුවන් අතර ලාංකිකයන් සිටියාද යන්න තවම වාර්තා නොවේ.