ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඊයේ උදෑසන අභාවප‍්‍රාප්තවූයේ ඔහුගේ සොයුරා වාසය කරන රාජගිරිය ප‍්‍රදේශයේ නිවසකදීය. සෝමවංශ මහතා අවදිවීම ප‍්‍රමාදව තිබීම ගැන ඔහුගේ සොයුරා උදෑසන සොයා බලද්දී ඔහු සිය කාමරයේ නාසයෙන් ලේ ගලමින් ඇඳ මත වැතිර සිටි අයුරු දුටු බව
වාර්තා කර තිබෙනවා.
මොළයේ රුධිර නාලයක් පිපිරීමෙන් සිදුවූ මරණයක්  ලෙස මරණ පරීක්ෂණයේදී තීරණයවූ සෝමවංශ මහතාගේ මරණය ගැන සොයුරු පියසේන අමරසිංහ මහතා කියා තිබුනේ පහත පරිදිය.

‘අපේ මහගෙවල් තිබුණේ කළුතර ඈතගම. දැන් අපි ඉන්නේ රාජගිරියේ.
මම කලක සිට ජීවත්වන්නේ රාජගිරියේ මේ නිවසේ. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු සෝමවංශ මල්ලී වසරක පමණ කාලයක් ජීවත් වුණේ අප සමගයි. කලකට ඉහත දී ඔහුට බයිපාස් සැත්කමක්ද කර තිබුණා. ඉන් පසුව සෝමවංශ මල්ලී හොඳ නිරෝගී සුවෙන් කල් ගතකළා. මගේ මල්ලී හැමදාම උදේ හය වෙනකොට අවදි වෙනවා. ඉස්සර නම් මල්ලී පාරේ ව්‍යායාම කරන්න, ඇවිදින්න යනවා. නමුත් මෑතක ඉඳන් ඒක අඩු කළා. ඒත් මල්ලි නිවසේ බැල්කනියේ සිට නිවස ඇතුළත වට

විසිපහක් හෝ
තිහක් හැමදාම ඇවිදිනවා.
අපේ පවුලෙම සහෝදර සහෝදරියන් හත්දෙනෙක්. අපේ පවුලේ බාලයා තමයි සෝමවංශ මල්ලී. වැඩිමහල්
සොහොයුරත් සොහොයුරියත් මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. එයා ගොඩක් වෙලාවට උදේ තේ එක බිලා ලියන කියන වැඩකටයුතු කරනවා. රාත‍්‍රී ආහාරය ගන්නේ ? අටයි
තිහට විතර. ඉන් පස්සේ හැමදාම වගේ මල්ලී රූපවාහිනිය නරඹනවා. බොහෝ වේලාවට මල්ලී බලන්නට කැමති ප‍්‍රවෘත්ති තමයි.
සුපුරුදු විදිහට ඊයේ රාත‍්‍රියෙත් කෑම කාලා 8 ප‍්‍රවෘත්ති බලලා උඩුමහලටගිහිල්ලා බෙහෙත් වගයක් බිලා නැවතත් අපත් එක්ක රූපවාහිනිය බලන්න ආවා. වෙනදා වගේම රාත‍්‍රී 10.00 ප‍්‍රවෘත්ති බලලා 10.30ට විතර සුපුරුදු පරිදි අපට ගුඞ්නයිට් කියලා නිදාගන්න උඩට ගියා.
වතුර වීදුරුවක් අරගෙන ගියේ.

 උදේ 9.00 වනතුරුත්  නැගිට්ටේ නැති නිසා අපි කාමරය ඇරලා බැලූවා. පුරුද්දක් ලෙස ඔහු කාමරයේ යතුරු දමන්නේ නැහැ. අපි හිතුවා ඔහු ව්‍යායාම් කරලා නැවත නිදි ඇති කියලා. උදේ 9.00 වනවිටත් අවදි වුණේ නැති නිසා කාමරය ඇරලා බලනකොට නිදාගත් ඉරියව්වෙන්ම ඇඳ මත හිටියා. නාස් කුහර දෙකෙන්ම විශාල වශයෙන් ලේ ගලා ගිහින්

තිබුණා. රාත‍්‍රී ගෙනිච්ච වතුර වීදුරුව බිලා තිබුණේ නැහැ. පසුව අපි දැනගත්තා ඔහු මියගොස් ඇති බව. අපි පොලිසියට දැන්වූවා.’

සෝමවංශ අමරසිංහ මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (15) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී අනාවරණය වී ඇත්තේ මොළයේ නහරයක් පිපිරීම මත ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මරණය සිදුවූ බවය.

සෝමවංශ අමරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 18 වැනි සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේ පොදු සුසානභූමියේ දී සිදු කෙරේ.
ඔහුගේ දේහය මේවනවිට බත්තරමුල්ලේ, පැලවත්තේ, දකුණු තලංගම, සිංහපුර, අංක 35 දරන නිවෙසේ තැන්පත් කර තිබේ.


තොරතුරු - සපුමල් ජයසේන/තිලක් පුෂ්පකුමාර