හබරාදුව, කොක්වත්ත නිග්‍රෝධාරාම  විහාරස්ථාන භූමියේ තිබූ පොකුණට වැටී දියේ ගිලී මියගිය අවුරුදු තුනයි මාස තුනක් වයසැති දරුවකුගේ මරණ පරීක්‍ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂණ අධිකරණයේදී පැවැත්විණි.



මෙසේ මියගොස් ඇත්තේ කළහේ ලොකුගේ සෙනුජ සෙනුමිත (අවුරුදු 03යි මාස 03යි) නමැති දරුවෙකි. මියගිය දරුවාගේ හදිසි මරණ පරීක්‍ෂණය පෙරේදා (27දා) හබරාදුව හදිසි මරණ පරීක්‍ෂක එම්.කේ. කමල් ගාමිණි තිලක මහතා විසින් කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පවත්වනු ලැබීය. හදිසි මරණ පරීක්‍ෂණයේදී කදුරුදුවෙ සුනන්ද හිමියෝ සාක්‍ෂි දෙමින් මෙසේ පැවැසූහ.

මා හබරාදුව කොක්වත්ත නිග්‍රෝධාරාම විහාරස්ථානයේ වැඩ වසනවා. මියගිය සෙනුජ මල්ලී අපේ ලොකු හාමුදුරුවන්ගේ මල්ලීගේ බාල පුතා. ඔහු වරින් වර ආච්චිත් සමඟ පන්සලට එනවා. ඇවිල්ලා දින කිහිපයක් නතරවෙලා ඉන්නවා. පසුගිය 25 වැනි දින

සෙනුජ එයාගේ ආච්චිත් එක්ක රඹුටන් පාර්සලයක් අරගෙන අපේ පන්සලට ඇවිත් ආච්චි සමඟ නතර වුණා. අපිත් සමඟ සෙල්ලම් කරමින් විනෝදයෙන් හිටියා. ඊයේ සවස අපි සෙල්ලම් කරන අතරේ සෙනුජ මල්ලී මහන්සි නිසා උඩට යනවා කියලා ගියා. අපි සෙල්ලම් කළා. විනාඩි 15කින් 20කින් විතර සෙනුජ නැති නිසා ඔහු හොයන්න කියලා ආච්චි ඇවිත් අපට කීවා.

අපි හැම තැනම බැලුවා. උඩත් ගිහින් බැලුවා. නමුත් හිටියේ නැහැ. පසුව සෙනුජගේ ආච්චි ඇවිත් කීවා පාර පැත්තට ගියාද දන්නේ නැහැ ඉක්මනට හොයන්න කියලා. මා යන ගමන් පොකුණ දිහාත් බැලුවා. එතකොට සෙනුජ හිටියේ නැහැ. නමුත් මම පාර දිහා බලලා ඉක්මනින් එන විට සෙනුජගේ ආච්චි දැකලා තියෙනවා ඔහුගේ සිරුර පොකුණේ තියෙනවා. ඊට පසුව ඔහු ගොඩ අරගෙන මාමලා වගයක් ප්‍රථමාධාර දුන්නා. බඩේ වතුර අරන් දැම්මා, පසුව ඔහු රෝහලට රැගෙන ගියා. ඔහු මියගිය බව දැන ගත්තා. පන්සලේ ඒ අවස්ථාවේ පිට කවුරුවත් හිටියේ නැහැ.

මියගිය දරුවාගේ මව වන දාඹර ලියනගේ ධම්මිකා මහත්මිය (37) සාක්‍ෂි දෙමින් මෙසේ කීවාය.

මියගොස් සිටින්නේ මගේ බාල දරුවා. මට පුතුන් පහක් හා එක් දියණියක් ඉන්නවා. පස්වැනි දරුවා තමයි මිය ගිහින් ඉන්නේ. කුරුඳුවත්ත තේ කම්හලේ රැකියාවට යනවා. ඊයේ සවස 6.00ට විතර මට දුරකථන ඇමතුමක් ආවා. හරුමල්ගොඩ පන්සලෙන්. දරුවා ටැංකියකට වැටිලා කියලා. ඉක්මනට හබරාදුව ඉස්පිරිතාලෙට එන්න කියලා. මම ත්‍රිරෝද රථයකින් රෝහලට ගියා. දරුවා මියගොස් ඇති බව දැනගත්තා. මරණය ගැන සැකයක් නැහැ. ආරක්‍ෂිතව පොකුණ තිබුණා නම් දරුවාට මේ ඉරණම අත්වෙන්නෙ නෑ.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතා විසින් කළ අතර ඉදිරිපත්වූ සාක්‍ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්‍ෂකවරයා දියේ ගිලීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.

මාපලගම - රසික සෙනවිරත්න