මාතර රන් බඩු වෙලෙදසලක් කොල්ලකෑමට සිය නමට ලියාපදිංචි කර තිබෙන යතුරුපැදිය ලබා දුන් බව කියන කොස්ගොඩ, නානාතොට පදිංචි කාන්තාවක් කොස්ගොඩ පොලිසිය මඟින් සිකුරාදා (22දා) අත්අඩංගුවට ගෙන තිබේ. ඇය කොල්ලයේ ප්‍රධානතම සැකකරු වන
කොස්ගොඩ තාරකගේ මව බවද පොලිසිය කියයි.
පසුගිය සිකුරාදා (22දා) මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි එක යතුරුපැදියක් සැකකාරියට අයත් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තහවුරු කර ගත් බවද කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකාරිය, කොල්ලයේ ප්‍රධානතම සැකකරු වන පාතාල නායක කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකගේ සහ ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22) යන අයගේ මව බවද කොස්ගොඩ පොලිසිය කියයි.

මොවුන් දෙදෙනාම කොල්ලයේදී පොලිස් වෙඩි පහරින් බරපතළ තුවාල ලබා මේ වන විට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ගොස් ඇත්තේ සිකුරාදා (22දා) සවස 3.00ට පමණය. ඇය පොලිසිය දුටු සැණින් නිවෙස තුළට ගොස් දොරවසාගෙන තිබේ. 3.30ට වන තෙක් පොලිසිය ඇයට කතා කළත් දොර නෑරිය බව පොලිසිය කියයි. පසුව පොලිසිය විසින් නිවෙසේ දොර කඩා තිබේ. එවිට ඇය නිවෙසේ නාන කාමරයකට වි දොරගුළුලා ගෙන ඇත.  ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ නාන කාමරයේද ‍දොර කැඩීමෙන් පසුව බව පොලිසිය කියයි.

ප්‍රබල ශ්‍රී ලනිප පාක්ෂියකු වන සැකකාරිය, 2018 පෙබරවාරි 10 දින පැවැති බළපිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට එජනිස යටතේ නානාතොට පළාත කොට්ඨාසයට තරග කොට පරාජයට පත් විය.

සැකකාරිය පෙරේදා (23දා) බළපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් ඉසෙඩ් පී.එම්. ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මස 4 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නානතොට පළාත, කොස්ගොඩ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නමැති කාන්තාවයි.


බළපිටිය - දම්සරී ලියනගේ, හික්කඩුව - සංජීව මාණික්කුවාවඩු