ටුනායක ගුවන්තොටුපොළේ සිට තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් වෙත දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබුණ හයිඒස් වර්ගයේ වෑන් රථයක් කුරුදුගහහැතැප්ම පිවිසුම ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ඊයේ ඕස්ට්‍රෙලියානු ජාතික මවක හා දියණියක මියගියා.
අනතුරින් මියගොස් ඇත්තේ ඕස්ට්‍රෙලියානු ජාතික කොලින් ලුවිස් මොනිකා (37) මව හා පොපී ගේබ්‍රියල් නමැති ඇගේ සිව් හැවිරිදි දියණියයි. බරපතළ තුවාල ලැබු පියා සහ දෙහැවිරිදි පුත්‍රයා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර,
වෑන් රථයේ රියැදුරු සහ

කන්ටේනර් රථයේ රියැදුරු ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.

කොළඹ සිට මාතර බලා යමින් තිබූ කන්ටේනරයක රෝදයක හුළං බැසීම නිසා එය දක්ෂිණ අධිවේගීයේ 65.1 කිලෝමීටර් කණුව අසල නවතා රියැදුරු සහ සහායක රෝදය මාරු කරමින් සිටියදී මාතර දෙසටම ගමන් ගත් වෑන් රථය කන්ටේනරයේ පසුපස ගැටී පෙරළී ගොස් ඇත.

වෑන් රථයේ ඉදිරිපස කොටස මුළුමනින්ම විනාශයට පත්වී තිබු අතර, රෝදය මාරු කරමින් සිටි එහි රියැදුරා ද වෑන් රියට යටවී පාදවලට බරපතළ තුවාල සිදුවී ඇත. ඇල්පිටිය රෝහලේදී ඔහු සැත්කමකට භාජනය කළ බව වාර්තාවිය.

වෑන් රථයේ රියැදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි. වෑන් රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම වෑන් රථය එම අවස්ථාවේ සීමාව ඉක්මවා අධික වේගයෙන් පැමිණ ඇති බවටද පරීක්ෂණ වලින් කරුනු අනාවරණයවී තිබේ.
වෑන් රථය වැදීමෙන් පසු කන්ටේනරයද ඉදිරියට තල්ලු වී ගොස් ඇති බව පොලිසිය කියයි. මව හා දියණිය නාගොඩ රෝහලට ගෙන යනු ලබන විටත් මිය ගොස් සිටි බව වාර්තාවේ.‍
අධිවේගී මාර්ගයේ අවසරයකින් තොරව අතරමග නවත්වා ටයර් මාරුකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ.