පෙරේදා (13දා) රාත්‍රියේ ඇල්පිටියේ ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් නිමවීමෙන් පසුව එම නිවෙසේ රාත්‍රිය ගත කරමින් සිටි පිරිසක් බූරුවා ගසමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යතුරුපැදිවලින් එම ස්ථානය වටලා
පුද්ගලයින් අල්ලන්නට යාමේදී ඇතිවූ කලබලය මැද වෙඩි තැබීම් සිදුකර එම ස්ථානයේ සිටි දෙදරු පියෙකු ඝාතනය කර තිබේ.
එම අවස්ථාවේ නිවෙසේ පිරිස හා පොලිස් නිලධාරීන් අතර නොසන්සුන්තාවක් ඇතිවූ බවත් දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවූ බවත් කියැවිණි.
සිදුවීම වන

අතරතුර පොලිස් නිලධාරීන් අත තිබූ ගිනි අවියක් පත්තුවීමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයකු මියගොස් ඇත. මියගිය පුද්ගලයා අවමංගල්‍ය උත්සවය පැවැති නිවසේ ඥාතියෙක් වූ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ එච්.එච්. ජයවර්ධන (54) නමැති දෙදරු පියෙකි.
මෙහිදී පොලිස් නිලධාරීන්ද පහර කෑමට ලක්ව තිදෙනෙකු රෝහල්ගතවී ඇත. ඔවුන් පැමිණි යතුරුපැදිවලටද යම්කිසි පිරිසක් පහරදී ඇත.
පිටිගල, ඇල්පිටිය, ඌරගස්මංහන්දිය සහ අහුන්ගල්ල පොලිස් ස්ථානවලින් පැමිණි පොලිස් නිලධාරි කණ්ඩායම් විසින් සිද්ධිය සමථයට පත්කිරීමට පියවර ගෙන ඇත.
මේ වනවිට ඇල්පිටිය පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම සිදුවීමට සම්බන්ධ නිලධාරීන් හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පරීක්ෂණ පවත්වන ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.