පැපිලියාන ප්‍රදේශයේ පාලමක් යට ජලයේ  පාවෙමින් තිබියදී කොහුවල පොලිසිය මගින්  ඊයේ (22දා) පෙරවරුවේ සොයා ගන්නා ලද  මළ සිරුර සම්බන්ධයෙන්
පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන තෙක් එකී සිරුර කළුබෝවිල රෝහලේ තැත්පත් කර තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුගේගොඩ  වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා කළුබෝවිල රෝහල් සුළු සේවා පාලකට නියෝග කළේය.

  කොහුවල පොලීසියේ කොස්තාපල් දයාසිරි (33789) මහතා සිද්ධිය සම්බන්ධයෙන් 

අධිකරණයට කළ කරුණු දැක්වීමකින් පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මෘත ශරීරය පරික්ෂාවට ලක්කිරීමෙන් පසුව එසේ නියෝග කළේය.

  එසේ මියගොස් ඇත්තේ 92/3/4 වෙස්ටන් වත්ත, හංවැල්ල ලිපිනයේ පදිංචිව සිටි හිටපු හමුදා සෙබළකු බව කියන එම්. මුතුමානි තිලකසිරි නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.  කිසියම් පුද්ගලයකුගේ මළ සිරුරක් පැපිලියාන උද්‍යාන ක්‍රීඩාංගණය අසල පාලම යට ජලයේ පාවෙමින් තිබෙන බවට කොහුවල පොලිසියට ලද තොරතුරකට අනුව ගොස් පරික්ෂා කිරීමේදී මෙම සිරුර සොයාගෙන ඇති බවත් ඔහුගේ ඇඳුමේ තිබූ හැඳුනුම්පත අනුව ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇති බවත් අනාවරණය කෙරුණි.  මෙය දිවි හානිකර ගැනීමක්ද එසේ නොමැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව තොරතුරු පශ්චාත් මරණ පරීක්ෂණයන්  පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.