පාසල් ශිෂ්‍යයන්ට නොගැලපෙන අන්දමින් කොණ්ඩය වවාගෙන පාසල් පැමිණ පාසල් සිසුන් හත් දෙනෙකුගේ කොණ්ඩය සිය වියදමින් කපා දැමීමට අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ඊයේ (22) උදැසන කටයුතු කළේය.

සාමාන්‍ය පෙළ වයසේ පසුවන සිසුන් හත්දෙනා අධික ලෙස කොණ්ඩය වවා විවිධ මෝස්තරයන් දමාගෙන විදුහලට පැමිණි අවස්ථාවේ පාසල තුළ විනය සම්බන්ධයයෙන් සොයා බැලූ ශිෂ්‍ය නායකයින් පිරිසකට සිසුන් අසුවී  ඇති අතර පාසලේ විනය සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන තරුණ ගුරුවරයෙකුට

ඔවුන් හත්දෙනා බාර දීමට ශිෂ්‍ය නායකයන් කටයුතු සිදුකර තිබුණි.

ගුරුවරයා සිසුන් හත් දෙනාගෙන් කොණ්ඩය නොකැපීමට හේතු විමසු අවස්ථාවේ ඔවුන් දෙමාපියන්ටත් අවනත නොවන දරුවන් බව වටහා ගෙන එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ජීප් රථයක් ගෙන්වා ගෙන අනුරාධපුර නගරයේ පිහිටි බාබර් සාප්පුවකට සිසුන් කැඳවාගෙන ගොස් කොණ්ඩය කැපීම සිදුකර තිබුණි.

මෙම  සිසුන්ගේ කොණ්ඩය කොටට කපන ලෙස ගුරුවරයා කරණවෑමියාට උපදෙස් දුන්නත් සිසුන් ඔවුන්ට අවශ්‍ය මෝස්තරයට කොණ්ඩය කපන ලෙස කරණවෑමියාට බලපෑම් සිදුකරන අයුරු දුටු ගුරුවරයා කොන්ඩය ඉතා කොටට කපන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.

කොණ්ඩය කැපූ සිසුන් හත් දෙනා සර් අපිව අල්ලගත්ත ශිෂ්‍ය නායකයන්ගෙත් කොණ්ඩය වැඩියි ඔවුන්ටත් කොණ්ඩය කපාගෙන ස්කෝලයට එන්න උපදෙස්  දෙන්න යනුවෙන් පවසා තිබුණු අතර ඔව් මම ඔවුන්ගේ කොන්ඩත් වැඩිබව දැක්කා ඔවුන්ටත් උපදෙස් දුන්නා කොන්ඩය වවාගෙන පාසල් එන්නේ නැතුව කොන්ඩය කපා ගන්න කියලා යනුවෙන් ගුරුවරයා සිසුන්ට පවසා තිබුණි.  ගුරුවරයාට සිසුන්ගේ කොන්ඩය කැපීම සදහා රුපියල් 1050 ක මුදලක් වැයවී තිබූ අතර පසුව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයු පියාට කෙටිආහාරත් සමග කිරිත්තේ කොප්පයක් ලබාදීමට කටයුතු කර තිබුණි.