රාජ්‍ය ගෞරව සහිතව අද සන්ධ්‍යාවේ දැයෙන් සමුගෙන ගිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සම්මාන ගොන්නෙන් එක් සම්මානයක් ඔහුගේ අවසන් කටයුතු සිදුවන අතරවාරයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.
ලෙස්ටර්ගේ දේහය නිවසේ තබා තිබුණ ස්ථානය අසළම
පිටුපසට වන්නට තැන්පත් කර තිබුණ මෙම රන් පැහැති රණ මයුර සම්මානය (Golden Peacock Award) ඔහු ලබාගත් සම්මාන අතරින් වටිනාම එකකි. 1963 වසරේදී තිරගත වූ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටය වෙනුවෙන් තුන්වැනි නවදිල්ලි සිනමා සම්මාන උළෙලේදී ඔහු වෙත එය පිරිනමා තිබිණි.
අද අවසන් කටයුතු සඳහා දහවල් ඔහුගේ දේහය නිවසේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවටත් අනතුරුව නිදහස් චත්‍රරශ්‍රයටත් ගෙනගිය අතර නිවසේ කලබලකාරී වාතාවරණය අතරේ කිසියම් පුද්ගලයෙකු විසින් එය සොරකම් කර ඇති බවට සැක කෙරෙයි.

ඔහු වෙනුවෙන් කතෝලික ආගමික වතාවත් අද පෙරවරුවේ පැවැත්වුණ අවස්ථාවට විශාල පිරිසක් නිවසට පැමිණි බවත් එම අවස්ථාවේ සිට මෙම සම්මානය අතුරුදන්ව ඇති නමුත් එය නැති බව දැනගෙන ඇත්තේ පසුව බව පැවසේ.
මෙය නිවසට පැමිණ සිටි කිසියම් අයෙකු සොරකම් කරන්නට ඇති බවට පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර තිබෙන අතර බම්බලපිටිය පොලිසිය මේ වන විටත් පරීක්ෂණ අරඹා තිබේ.