http://www.gossiplankanews.com/2018/05/diana-flash-back-in-harry-wedding.html
පෙරේදා පවත්වන්නට යෙදුණ බ්‍රිතාන්‍ය රජ පවුලේ බාලයා හැරී කුමරු ගේ රාජකීය මංගල්‍යයට ඔහුගේ මෑණියන්වූ මින් වසර 21 කට පෙර ලොවම හඬවා මියගිය ඩයනා කුමරිය නැති අඩුව තදින් දැනී තිබුණි. ජීවත්ව සිටි කාලයේ ඩයනාට වඩාත් සමීප කොලු පැටියා වූ හැරී මව නැති පාළුව නිසාම ජීවිතයද වෙනස් කරගත් අයෙකි. ඔහු මව අනුකරණය කරමින්
අප්‍රිකානු රටවල සමාජ සේවා වැඩටද සම්බන්ධ වූ අතර ඔහු තෝරාගත් මනාලිය මෙගන් තුළින්ද ඩයනා කුමරියට සමාන ගතිගුණ හඳුනාගත් බව ඔහු පවසා තිබුණි.

පෙරේදා පැවති මංගල උත්සවයේදී පල්ලියේ වම් පස හැරී කුමරුගේ අමුත්තන්ද දකුණු පස මෙගන්ගේ අමුත්තන්ද අසුන් ගත් අතර උත්සව අවස්තාවේ සියලු අසුන් පිරී තිබුණත් රජපවුලට වෙන් කළ පළමුවෙනිම අසුන හිස් එකක් ලෙස දිස් විය. ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට මෙම අසුන හැරී වෙන් කරන ලද්දේ සිය මියගිය මෑණියන් වෙනුවෙනි.

එය හිස්ව තැබීම මගින් ඇයද එම අවස්ථාවට නිහඬවම එක්කරගන්නට හැරී කල්පණා කරන්නට ඇත.

මනාලියට හැරී කුමරු පිරිනැමූ මංගල මල් කළඹට මල් සපයාගෙන ඇත්තේද ඩයනා කුමරිය වාසය කළ කෙන්සින්ටන් මාලිගයෙහි නොටින්හැම් උද්‍යානයෙන් වන අතර ඩයනා කුමරිය ආසා කළ මල් වර්ග හැරී සියතින්ම කඩා එය සැකසීමට ලබාදුන් බව වාර්තාවල දැක්වේ.
මේ අතර මංගල දින පවත්වන්නට යෙදුණ evening reception අවස්ථාවට 1996දී ඩයනා කුමරිය දුන් මුදුවක්ද මනමාලිය මෙගන් පැළඳි බව වාර්තා විය.
ඩොඩී අල්ෆයිඩ් නම් අනියම් පෙම්වතෙකු සමග ගමන් කරද්දී මාර්ග අනතුරකින් ඩයනා කුමරිය 1997 මියගිය පසුව ඩයනාගේ ඥාතීන් මාළිගයට වද්දාගන්නට රැජිණට කැමැත්තක් නොවූ අතර ඔවුන් සමග සබඳතාද අත්හැර තිබුණි. නමුත් හැරී කුමරු දිගටම ඔවුන් ඇසුරු කළේය. ඔහු මෙගන් සමග හාදවූ පසු එම ඥාතීන්ට ඇයවද හඳුන්වාදී සමීප ඇසුරක් පවත්වාගෙන ගිය බව කියැවිණි.

මේ අතර එළිසබත් රැජිණ ප්‍රිය නොකරන නමුත් හැරීගේ තීරණය මත මනාලයාට නෑකමින් පුංචි අම්මලා වන ඩයනාගේ සොයුරියන් දෙදෙනෙකුටද මංගල දින උත්සවයට ඇරයුම් ලැබී තිබුණ අතර ලේඩි ජේන් හා ලේඩි සාරා නමැති ඔවුහු හැරීට වෙන් කළ අසුන් වල වාඩිගෙන සිටියහ.
මංගල උළෙලේ අසුන් සැලැස්මද පහත පළවේ.