ඒකාබද්ධයට ශ්‍රීලනිප පිරිසක් යාම සමග 
ජාතික ආණ්ඩුවේ දෙදරීමක්
-විපක්ෂ නායකධූරය වෙනසක් කැබිනට් සංශෝධනයක්


ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවා ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අගමැතිවරයාට එරෙහි වීම තුළ ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වා ගැනීම පිළිබඳව ගැටලු මතුව ඇත.
ශ්‍රිලනිප පිරිසක් අද රෑ ඒකාබද්ධයේ අසුන් ගන්නා බවත් වාර්තාවේ. ජාතික ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු
පිරිසක් අද සවස ආණ්ඩුවෙන් ඉවත් වෙන බවත්  ඉන් අනතුරුව යහපාලන ආණ්ඩුව අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද පවසා තිබේ.
එම පිරිස අතර නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 25 දෙනෙකු පමණ සිටින බවට වාර්තා පළව තිබේ.

එලෙස විශ්වාසභංගයෙදී අගමැතිවරයාට එරෙහිව ජන්දය ප්‍රකාශ කර විපක්ෂයේ අසුන් ගන්නා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සියල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යාවස්ථාවට අනුව පාර්ලිමේන්තු මන්ත්රිධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කරන බවද ජනපතිට සමීප ආරංචි හෙළි කරයි.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විශ්වාස භංගයට සහය පළ කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් බිහිවීමේ වැඩි ඉඩ කඩක් මතුව ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පවතින්නේ එකඟතාවයක් නොව ඇත්තේ බෙදීමක් පමණක් බව සහ
අද කැබිනට් ඇමතිවරුන් බහුතරයක් හෙට දිනයේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වෙන බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසා ඇත.

එජාපය ද්‍රවිඩ සන්ධානය මුස්ලිම් පක්ෂ ශ්‍රිලනිප පිරිසක් සමග නව ආණ්ඩුවක් පිහිටවනු ඇති අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේහැරගිය  මන්ත්‍රීවරුන් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පත්වනු ඇත.

එහිදි නව විපක්ෂ නායකවරයෙකු පත් කර ගත යුතු අතර එයට බහුතර විපක්ෂය නියෝජනය කරන පිරිසගෙන් එය පත් කර ගත යුතු වෙයි.

මේ අතර නව රජය සමග හෙට හෝ සඳුදා කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවට හා
එජාපයේ ප්‍රතිසංවිධානයක්ද සිදුවන්නට නියමිත බවට වාර්තා පළව තිබේ.