http://www.gossiplankanews.com/2018/04/lester-james-peris-passed-away.html
ශ්‍රී ලාංකීය සිනමාවේ හෙළ ලකුණ බිහිකළ අසහාය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද 29 සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
මීට සති කිහිපයකට පෙර අප්‍රේල් 5 වනදා ඔහුගේ 99 වන ජන්ම දින සැමරීම සිදු කළ අතර එම අවස්ථාවේ ජනපති අගමැති ප්‍රමුඛ අය ඔහු හමුවී විශේෂ සැමරීම්ද සිදු කර තිබුණි.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු හඳුන්වනු ලැබේ.
 හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ
චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. ඔහුගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.


1919 අප්‍රේල් 5 දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහුගේ පියා ස්කොට්ලන්තයේ දී ඉගෙන ගත් වෛද්‍යවරයෙකි. ඔහුට, එරිකා, අයිවන් සහ නොයෙල් ලෙස සහෝදරයන් කීපදෙනෙකි.
පීරිස් පවුල ඉංග්‍රීසි පන්නයට හැඩ ගැසුණු රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර්  ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය. ලෙස්ටර් කිසිදු දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත. ඔහුට ප‍්‍රසිද්ධ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකු වීමට ද කිසිදු අදහසක් තිබී නොමැත. එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත‍්‍රපට කර්මාන්තයක් ද තිබී නැත.
 කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත් ඔහු පසුව වයස අවු 17 දී ඔහුගේ ජීවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගත්තේය. ඔහු වෘත්තිය වශයෙන් ඩේලි නිව්ස් පුවත් පතේ හා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතෙහි සේවය කර ඇත. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
1947 දී එංගලන්තයට ගොස් එහි කලා ශිෂ්‍යත්වයක් හැදෑරූ ඔහු 1952 දී නැවතත් ලංකාවට පැමිණ ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සමග එක්ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විෂය කොට ගත් සිංහල සිනමාවේ

සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය 1956  බිහි විය.
ඒ දක්වා ඉන්දියන් කොපි හා ඉන්දියන් චිත්‍රාගාර ආශ්‍රිත චිත්‍රපට පැවති හෙළ සිනමාව ඒ අනුව වෙනසකට ලක්විය.
 ඔහුගේ මේ විප්ලවීය වෙනස නිසා ශ්‍රී ලාංකීය සිනමාවට ඒකීය අනන්‍යතාවයක් ගොඩ නැඟුනි. ඉන්පසු ඔහු සම්භාවනීය චිත්‍රපටි රැසක් බිහි කළ අතර ගම්පෙරළිය ,දෙළොවක් අතර ,ගොලු හදවත ,නිධානය ,යුගාන්තය ඒ අතර කැපී පෙනේ.
දේශීය හා විදේශීය වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියූ අතර ලංකාවේ නම අවස්ථා ගණනාවකම බැබලවූයේය.

ඔහුගේ අවසන් උපන්දින සැමරුම අවස්ථාවේ ගොසිප් ලංකා ඉදිරිපත් කළ ඡායාරූප පෙළ නැවතත් පහතින්
http://www.gallery.gossiplankanews.com/birthday/lester-james-peries-99th-birthday.html
Pix By - Indika Prabath Weerasinghe & Deva Jayawardane