පිස්තෝලයට බලපත්‍රත් නෑ
තිදරු මවක වූ චණ්ඩි ලේලී දිගටම රිමාන්ඩ්


 තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියැදුරකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කරමින් පහරදීමේ සිද්ධියට සමබන්ධවූ දකුණු පළාත් සහා මන්ත්‍රී එම්.කේ. කසුන්ගේ පිස්තෝලයට 2018 වසර සඳහා බලපත්‍ර නොමැති බව ඊයේ ඒ සම්බන්ධ නඩු විභාගයේදී අනාවරණය විය.
මෙම පිස්තෝලය සඳහා 2016-2017 වසරට ලබාගෙන තිබූ බලපත්‍රය
දැනට කල් ඉකුත්ව ඇති බවත්  අයථා පරිහරණය සිදුවූ අවස්ථාව වනවිට බලපත්‍රයක් ලබාගෙන නොමැති බවත් කරුණු හෙළි විය.
177 බස් රථ රියදුරෙකුට අමතරව බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට පහරදි තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කසුන්ට එරෙහිව තංගල්ලේ දැනටමත් නඩුවක් විභාග වන බව පැවසේ.

පසුගියදා ඇතිවූ සිද්ධිය අවස්ථාවේ පළාත් සභා මන්ත්‍රී වරයා සතු ගිනි අවිය අන්සතු කළ නොහැකි බවට  අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය. සිද්ධිය අවස්ථාවේ සීසීටීවී දර්ශන මෙන්ම මගියෙකුගේ පටිගත කළ වීඩියෝවද අධිකරණයට ඉදිරිපත් විය.
තමා කොස්වත්ත ප්‍රෙද්ශයේ ඇගලුම් ආයතනයකට යමින් සිටියදී ට්‍රැෆික් එකකට හසුවූ බවත් එම අවස්ථාවේ අසළ බස් නැවතුමක් අසළ වාහනය නතර කිරීම කරණ කොටගෙන රියදුරු ආරවුලට පැටලුණ බවත් මන්ත්‍රී එම්.කේ. කසුන් දන්වා ඇත. රියදුරු පැමිණ අනවශ්‍ය ලෙස බහින්බස්වීම නිසා තමාගේ බිරිය වූ තිදරු මවක වූ තාරුකා මධුභාෂිණි පෙරේරාට කේන්ති ගිය බවත් ඔහු පවසා ඇත.
බලපත්‍රයක් නොමැතිවීම මෙන්ම මෙම ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඇප දිය නොහැකි බව පැවසූ මහේස්ත්‍රාත්වරයා ලබන 27 දක්වා නැවත ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට නියම කරන ලදි.

වාර්තාව - අයිරංගි එදිරිසිංහ