හෘදයාබාධයකින් 
මියගිය සැමියාගේ සිරුර
ලොක් කරපු මෝටර් රථයේ

මිස් කෝල් එක බලා පොලිසිය බිරිඳට යතුර ගේන්න කියලා


දොරවල් සියල්ල ලොක් කරගෙන වාහනය පදවන අයෙකු මහමගදී හදිසියේ මියයාමකින් පසු එම පුද්ගලයා ගැන සොයා බැලීමට පොලිසිය යෙදූ ප්‍රයත්නයක් ගැන අමුතු පුවතක් සීදූව ප්‍රදේශයෙන් වාර්තාවේ.
සීදුව ලියනගේමුල්ල ජයලත් සිනමා ශාලාව අසලින් ඇති සෙන්තෝමස්‌ ජාත්‍යන්තර පාසල වෙත යන මාර්ගය අධිවේගී මාර්ගයට සමගාමීව කලපු තීරයෙන් අවසන් වන්නකි..
 මෙම මාර්ගය ඔස්‌සේ කලපු තීරයට පිවිසීමට කොළඹ, කටුනායක අධිවේගී මාර්ගය යටින් ඇති විශාල ප්‍රමාණයේ බෝක්‌කුවක්‌ තිබේ. මෙම බෝක්‌කුව යට වාහනයක් නවතා තිබෙන අයුරුත්  එහි රියදුරු අසුනේ කිසිවෙකු නිදා සිටින අයුරුත්
පසුගිය දිනක රාත්‍රි මුර සේවාවේ නියෑළුන පොලිස්‌ නිලධාරීන් දෙපළක්‌ දැක තිබේ.
මෙම බෝක්‌කුව යටින් කිසිදු අපහසුවකින් තොරව පොඩි ලොරි රථයකට ද එහා මෙහා යැමට හැකියාවක්‌ පවතින අතර ඉන් ඔබ්බෙන් ඇති කලපු තීරයේ විවිධ දූෂිත ක්‍රියා සිදුවන ස්‌ථානයක්‌ නිසා සීදුව පොලිසිය

වැඩි අවධානයක්‌ යොමුකරන ස්‌ථානයකි.
 රාත්‍රි මුර සේවාවේ නියෑළුන පොලිස්‌ නිලධාරීන් දෙපළ මෙම අධිවේගී මාර්ගය යට ඇති බෝක්‌කුව තුළ මෝටර් රියක්‌ නවතා තිබීම සැකමුසු දෙයක් නිසා එම රිය පරීක්ෂාවට ගිය අතර රියදුරු අසුනේ රියෑදුරු නිදාගෙන සිටිනා ආකාරය දැක තිබේ. පොලිස්‌ නිලධාරීන් දෙපළ වාහනයේ වීදුරුවට කොපමණ තට්‌ටු කළ ද රියදුරු ප්‍රතිචාරයක්‌ නොදැක්‌වීම නිසා එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ වාහනයේ දොර විවෘත කිරීමට ද උත්සාහ කර ඇත. එයද අසාර්ථක වන්නේ රියදුරු  දොරවල් සියල්ල ලොක්‌කර තිබීම හේතුවෙනි. පසුව  තවත් නිලධාරීන් පිරිසක්‌  එම ස්‌ථානයට කැදවා තිබේ.
 ඔවුන් ද වාහනයේ දොරවල් විවෘත කිරීමට උත්සාහකර සිටියදී නොසිතූ ලෙස වාහනය තුළ තිබූ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබී ඇත. එයට ද රියදුරු ප්‍රතිචාරයක්‌ නොදක්‌වනු දුටු පොලිස්‌ නිලධාරීන් අතරින් එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ වහා ක්‍රියාත්මකව වීදුරුවෙන් බලා එම දුරකථනයේ සඳහන් වූ ලැබූ ඇමතුමේ අංකය සඳහන් කරගෙන ඇත.
 පසුව එම ඇමතුම ඔස්‌සේ ඇමතුමක්‌ ලබාගත් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කුමාරපේලි මහතා එම අංකය වාහනයේ සිටි පුද්ගලයාගේ බිරිය බව

හදුනාගන්නා ලදි. කිසිදු ප්‍රතිචාරයක් නැතිව වාහනයේ එම පුද්ගලයා සිරවී සිටින බව දන්වා හැකිනම් වෙනත් යතුරක් සමග පැමිණෙන ලෙස පොලිසිය ඇයට දන්වා තිබේ.

 පසුව වාහනයේ ඇතුලේ සිහිසුන්ව සිටි පුද්ගලයාගේ බිරිඳ තවත් ඥාතීන් පිරිසක්‌ සමඟ වාහනයේ අමතර යතුර ද රැගෙන පැමිණ දොර විවර කොට පුද්ගලයාව එළියට ගත් අතර පොලිස්‌ නිලධාරීන් සමඟ ඇය සිහිසුන් ලෙස සිටි තම ස්‌වාමිපුරුෂයාව මීගමුව රෝහල වෙත රැගෙන ගොස්‌ තිබුණි., එහිදී වෛද්‍යවරයා විසින් එම පුද්ගලයා මියගොස්‌ ඇති බව අදාළ පාර්ශ්වයන්ට පවසා පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වන තුරු රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කොට ඇත.

 මෙලෙස මියගොස්‌ සිටි තැනැත්තා මොහොට්‌ටිගේ ප්‍රියන්ත 41 වැනි වියේ පසු වූ 401/3 රිදීවැල්ල පාර දළුවකොටුව කොච්චිකඩේ පදිංචිකරුවෙක්‌ බවත් ඔහු විවාහක දරුවන් තිදෙනකුගේ පියෙක්‌ බවත් මොහු ගොඩනැඟිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක්‌ වන බව ද සීදුව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
 මියගොස්‌ සිටි පුද්ගලයා එම අවස්ථාවේ ගෙල බැඳි රන් මාල සහ අනිකුත් ආභරණ රුපියල් ලක්‍ෂ විස්‌සකට ආසන්න බව ද පොලිසිය පවසයි.
 මෙම හදිසි මියයැම පිළිබඳව මීගමුව මූලික රෝහලේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අනුව කිරීටක ධමනිවල සිදු වූ අවහිරවීමකින් සිදු වූ හදිසි මරණයක්‌ බවට නිගමනය කර ඇත. 

ආනන්ද නිශ්ශංක - කටුනායක