වාහන දෙකක් හප්පා
තලවතුගොඩ ඇලට වැටුණ BMW හිමිකරු
ඇමති කබීර්ගේ නෑදෑයා මිසින්


පසුගිය සෙනසුරාදා පාන්දරට වන්නට තලවතුගොඩ කීල්ස් සුපර් සුපිරි වෙළෙඳ සලට යාබද සමාජ ශාලාවක රථ ගාලේ සිට වේගයෙන් ධාවනය කළ බීඑම් ඩබ්ලිව් මෝටර් රථයකට එහි වේගය පාලනය කරගන්නට බැරිවී පාරේ ධාවනයවූ ඇක්සියෝ හා කොරොල්ලා වර්ගයේ මෝටර් රථ දෙකක ගැටීමෙන් පසුව ආසන්නයේ පිහිටි කිඹුලා ඇලට වැටී තිබේ.
මෙම සිදුවීම නිසා කිසිවෙකුට තුවාල සිදුවූයේ නැති නමුත් වාහන තුනටම
අලාබ සිදුවිය.
අනතුරව ලක්වු මෝටර් රථ දෙකේ හිමිකරුවන් අනතුර සිදුවී ටික වේලාවකින් තලංගම පොලිසියට පැමිණ ඒ පිළිබඳව පැමිණිලි කළ නමුත් බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය පැදවූ කැබිනට් ඇමැති කබීර් හෂීම්ගේ ඥාතියකු යැයි කියන මුස්ලිම් පුද්ගලයා ඊයේ (18) සවස වනතුරුත් පොලිසියට පැමිණ තිබුනේ නැත.
ඔහු අනතුර අවස්ථාවේ වාහනයද අතහැර දමා ත්‍රීරෝද රථයක නැගී පළාගොස් තිබේ.
වාහන සේල් අයිතිකරුවෙකු බව කියන ඔහු මාදිවෙල පදිංචිකරුවෙකු බව පොලිසිය සොයාගත් අතර ඔහුගෙන් ප්‍රකාශයක් ගැනීමට කණ්ඩායමක් යොදවන ලදි.

අනතුර සිදුවූ එක් රථයක කොළඹ පෞද්ගලික ආයතනයක මූල්‍ය සාමාන්‍යාධිකාරීවරියක සහ ඇගේ සැමියා ගමන් කරමින් සිට ඇති අතර අනෙක් රථයේ සිය දරුවා අමතර පන්තියකට ඇරලවීම සඳහා යමින් සිටි නීතිඥවරයෙකු ගමන් කර තිබේ. එම රථ දෙකටම බරපතල හානි සිදුව ඇත.

ඇලට පෙරලුණු බී.එම්.ඩබලිව්. මෝටර් රථයේ ගරාජ් අංකයක් පමණක් තිබුණ අතර ලංකාවටම මේ වර්ගයේ මෝටර් රථ තුනක් පමණක් ඇතැයි පැවසේ.
මෙම අනතුර සිදුකළ අයගේ ‘අකවුන්ටන්ට්‘ යයි කියන අයෙකු පසුදින පොලිසියට පැමිණ තමන් අලාබය ගෙවන්නට සූදානම් යයිද  අද (19) දින ගෙවන බවද දන්වා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කර තිබේ.
 මෙම රථය රාත්‍රී සමාජ ශාලාවේ රථ ගාලේ සිට පෙරේදා උදේ 6.53 ට පමණ අධික වේගයෙන් පිටත්වී යන අන්දමත් ඒ පසුපසින් පුද්ගලයන් කීපදෙනෙකු දිවයන අන්දමත් කීල්ස් අලෙවි සළේ සී.සී.ටී.වී. කැමරාවලට නිරීක්ෂණය වී තිබුණි.

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරන ඇමති කබීර් හෂීම් මෙම රථය හිමිකරු තමන්ගේ ඥාතියෙකු බව සත්‍ය යයි පිළිගෙන ඇති නමුත් ඔහු පවසන්නේ ඔහු තම කාර්ය මණ්ඩලයේ හෝ අමාත්‍යංශයට හෝ දේශපාලන වැඩි වලට සම්බන්ධ අයෙකු නොවන බවයි. තමන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කර නැති බවද ඔහු පවසා ඇත.
තලංගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.