නාරාහේන්පිට පුද්ගලික රෝහලේ හෙදිය
තැන් හතරකදී හයක් යොදවා සමූහ දූෂණය කළ
වෛද්‍යවරයා ඉංජිනේරුවා හා රියදුරු අත්අඩංගුවට



කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රියදුරු කෝප්‍රල් ශාන්ත ගාමිණි (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු
වෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෛද්‍යවරයා යුද හමුදා රෝහලේ සේවය කරන අතර නාරාහේන්පිට පුද්ගලික රෝහලක චැනලින් සේවාව සඳහා සම්බන්ධවෙමින් සිටි අයෙකි. ඔහු එම රෝහලට යන එන අතර තමන් අවිවාහකයකු බව අඟවමින් මෙම රූමත් හෙදිය සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇයට ඔහු විවාහකයෙකු බව හෙළිවීමෙන් පසුව මෙම සම්බන්ධය නතර කර තිබේ.
සැකකාර වෛද්‍යවරයා විවාහක දෙදරු පියෙකු වූ අතර සිය වැඩිදුර අධ්‍යාපනය සඳහා වසර දෙකකට විදෙස් ගතව ඇත්තේ පවුලේ අය සමගයි. මෙම කාලයේ හෙදියට ඔහු විවාහක බව නිශ්චිතවම හඳුනාගන්නට ලැබී ඇති අතර නැවත ඔහු ලංකාවට පැමිණ හෙදියට චාටු බස් පවසද්දී සත්‍යය හෙළීවූ බව දන්වා ඇය ඔහුව ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ගැන උරණවූ වෛද්‍යවරයා ‘මං උඹට කට්ටිය දම්මලා කරවන්නම්‘ යනුවෙන් ඇයට තර්ජනය කර තිබෙන අතර පළිගැනීමේ චේතනාවෙන් ඇයට නිට්ටඹුව ප්‍රදේශයේ නිවසකදීත්,
නුගේගොඩ යුද හමුදා නිලධාරීන්ගේ නිවස්නයේදීත්, මොරටුවේදීත් ,මීගමුවේදීත් විවිධ පිරිස් ගෙන්වා  සමූහ දූෂණයකට ලක්කර ඇතැයි වාර්තාවේ.

ඇයගේ පවුලේ අය මරණ බවට තර්ජනය කරමින් සැකකාර වෛද්‍යවරයා විසින් පැමිණිලිකාරිය මෙලෙස වරින්වර රැගෙන ගොස් ඇයට මත්පැන් ගංජා ආදිය ලබාදී මත් කර පිරිස් යොදවා දූෂණයට ලක් කර තිබෙන අතරම එම අවස්ථා සිය ජංගම දුරකතනය මගින් විඩියෝ සහ ඡායාරූප ගත කර ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
පසුව එම ඡායාරූප පැමිණිලිකාරිය සේවය කරන පෞද්ගලික රෝහලේ පොදු ඊමේල් ලිපිනය වෙත යවා ඇත්තේ ‘මෙන්න බලාගන්න ඔයාලගෙ නර්ස්ගෙ වැඩ‘ යනුවෙන් ශීර්ෂයක්ද යොදමිනි.
මේ හේතුවෙන් පැමිණිලිකාරිය මහත් අපකීර්තියට හා අපහසුතාවයට ලක්ව තිබෙන අතර සිද්ධිය නාරාහේන්පිට පොලිසිය වෙත පැමිණ පැමිණිලි කර තිබේ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා හා එයට සම්බන්ධ
හමුදා රොහලේ අධ්‍යක්ෂකගේ රියදුරු  හමුදා රෝහලේදී අත්අඩංගුවට පත්වූ අතර සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ මිතුරු ඉංජිනේරුවා  මොරටුව කුලී නිවසකදීත් අත්අඩංගුවට පත්ව ඇත.
 අධිකරණ නියෝග මත කළ සෝදිසි මෙහෙයුමේදී පළමුවැනි සැකකරු සන්තකයේ තිබූ අදාළ විඩියෝ දර්ශන සහ ඡායාරූප ඇතුළත් ජංගම දුරකතනය අත්අඩංගුවට ගත් බවත් එය නඩු භාණ්ඩ වශයෙන් නම් කරන බවත් පොලිසිය සඳහන් කර තිබේ. පැමිණිලිකාරිය ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

 මෙම සැකකරුවන්  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය (ගංජා සහ අරක්කු) පොවා සිහි විකල් කොට මරණ බවට තර්ජනය කර මෙම ලිංගික අතවරය කර ඇති බවත්, පසුව සැකකරු සමග පැමිණි තවත් පුද්ගලයකුට මෙන්ම තවත් අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයන් තිදෙනකු ද ඇතුළු රංචු ගැසී බරපතළ ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය අධිකරණයේදී කරුණු වාර්තා කරන ලදි.
පොලිසියෙන් අත්අඩංගුව වෛද්‍යවරයා, ඉංජිනේරුවා හා රියැදුරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.
හමුදා ලාන්ස් කෝප්‍රල්වරුන් ඇතුළු
ඉතිරි සැකකරුවන් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.