ජයලලිතාගෙන් හිස්වූ ආසනයට තරඟ කිරීමට
දෙමළ චිත්‍රපට නළු විශාල් කරළියට

තමිල්නාඩු හිටපු මහ ඇමතිණී ජයලලිතා ජයරාම් නියෝජනය කළ ආර්.කේ. නගර් ආසනය සඳහා අතුරු මැතිවරණය දෙසැම්බර් 21 වනදා පැවැත්වෙනවා.
මේ සඳහා දමිළ චිත්‍රපට නළු විශාල් ක්‍රිෂ්ණා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීම නිසා දෙසැම්බර් 5 වනදා චෙන්නායිහි මැතිවරණ කාර්යාලය අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබුණ නමුත් පසුව ඔහුගේ නාම යෝජනාව පිළිගන්නා ලද බව
ඔහු සමාජ ජාල ඔස්සේ වාර්තාවේ.
මේ අතර ජයලලිතාගේ ලේලියක වන දීපා ජයකුමාර්ගේ නාම යෝජනාවද ප්‍රතික්ෂේප වී තිබේ.
ජයලලිතා විසින් නායකත්වය දුන් AIADMK පක්ෂය සිය අපේක්ෂකයා ලෙස මඩුසුදානන් ඉදිරිපත් කොට ඇති අතර හිටපු AIADMK ප්‍රධානියකු වන TTV දිනකරන් ද ස්වාධීනව තරඟ කරනු ඇත. ප්‍රධාන විපක්ෂය වන DMK පක්ෂය සිය අපේක්ෂකයා ලෙස මුරුදු ගනේෂ් නම් කොට තිබෙයි.

ජයලලිතාගේ මරණින් පසු AIADMK පක්ෂයේ බල අරගලයක් සිදු වූ අතර හිටපු තමිල්නාඩු මහ ඇමති ඕ. පන්නීර්සෙල්වම් පාර්ශවය පරාජය කර ජයලලිතාගේ මිතුරිය වූ සසිකලා පක්ෂයේ බලය අල්ලා ගත්තා. ඇය විසින් තමිල්නාඩු මහ ඇමති ලෙස පලනිස්වාමි පත් කළා.
නමුත් 2017 අගෝස්තුවේදී පන්නීර්සෙල්වම් සහ පලනිස්වාමි පාර්ශව යළි එක් වූයේ සසිකලා සහ දිනකරන් AIADMK පක්ෂයෙන් නෙරපා දමමින්.
ආර්.කේ. නගර් අතුරු මැතිවරණය මුලින්ම පැවැත්වීමට නියමිත වූයේ 2017 අප්‍රේල් මාසයේදියි. එම අවස්ථාවේ සසිකලා පිළ AIADMK පක්ෂය පාලනය කළ අතරTTV දිනකරන් පක්ෂයේ නිල අපේක්ෂකයා වුණා. මඩුසුදානන් ඒ අවස්ථාවේ පන්නීර්සෙල්වම් පාර්ශවයේ අපේක්ෂකයා වුණා. නමුත් සසිකලා පාර්ශවය ඡන්දදායකයන්ට අල්ලස් දුන් බව චෝදනා එල්ල වීමෙන් පසු එම අතුරු මැතිවරණය කල් දමනු ලැබුණා.
2004 අග සිට මේ දක්වා දෙමළ හා තෙලිගු චිත්‍රපට 38 ක පමණ රඟපා ඇති සිනමා නළු විශාල් 40 හැවිරිදි වියෙහි පසුවන්නෙකි. චිත්‍රපට රාශියක නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කරන ඔහු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමයේ වත්මන් සභාපතිද වෙයි.