රුසියාවට 2018 සිසිර ඔලිම්පික් උළෙල තහනම් කිරීමට තීරණය කළ බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.

එහි සභාපති තෝමස් බාක් මේ බව ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්තයේ ලුසෑන් නගරයේදී දෙසැම්බර් 5 වනදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී.



මෙම තීරණයට හේතු වූයේ එරට රාජ්‍ය අනුග්‍රහය සහිතව සැලසුම් සහගතව ගෙන ගිය තහනම් උත්තේජක භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව හෙළි වීමයි.


මේ පිළිබඳ හෙළි කරන ලද්දේ පසුගිය වසරේ නිකුත් වූ මැක්ලරෙන් වාර්තාවෙන්. එය සම්පාදනය කරන ලද්දේ කැනේඩියානු ජාතික නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන රිචර්ඩ් මැක්ලරෙන් ප්‍රමුඛ කමිටුවක් විසින්.

කෙසේ වෙතත් රුසියානු ක්‍රීඩකයන්ට ඔලිම්පික් ධජය යටතේ තරඟ කිරීමේ අවසර ලබා දෙනු ලැබුණා.

අදාළ පරීක්ෂණවලට සහභාගී වීමෙන් පසු, තහනම් උත්තේජක භාවිතා කොට නැතැයි සනාථ වුවහොත්, ඔවුනට එසේ තරඟ වැදිය හැකියි.

2018 සිසිර ඔලිම්පික් උළෙල පවත්වනු ලබන්නේ දකුණු කොරියාවේදියි.