කොට්ටාවේ රූපලාවන්‍ය ශිල්පිනියක්
පාතාලයෙන් මරා දමලා


කොට්‌ටාව රුක්‌මලේ ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනෙක්‌ එම නිවසේ සිටි
රූපලාවන්‍ය ශිල්පිනියක වෙඩි තබා ඝාතනය කර පළාගොස්‌ ඇතැයි වාර්තාවේ.
ඝාතනයට ලක්‌වූ රූපලාවන්‍ය ශිල්පිනිය මංජුලා සඳුනි අබේවික්‍රම නමැති 41 හැවිරිදි දෙදරු මවක්  බව පැවසේ. ඇය මේ ආකාරයට මරා දැමීම පසුපස පාතාල


සබඳතා මත ඇතිවූ ආරවුලක් හා එකට එක කිරීමේ සිද්ධියක් සම්බන්ධ බවට කටකතා පැතිර තිබේ.

මියගිය කාන්තාවට අතුරුගිරිය නගරයේ අයත්ව තිබෙන රූපලාවන්‍යාගාරයේදී පසුගිය ජනවාරි මස කොණ්ඩය කපන්නට ආ මනිල් බණ්ඩාර නමැති පාතාල සාමාජිකයෙකු එම සේවය ලබමින් සිටියදී රූපලාවන්‍යාගාරයට කඩා වැදුණ පිරිසක් මගින් ඝාතනය කරන්නට යෙදුණ අතර පසුව සිදු කළ පරීක්ෂණවලදී එකී ඝාතනයට උදව්දීමට මෙම තැනැත්තිය කටයුතු කර තිබුණ බවටද කරුණු අනාවරණය විය. ඒ නිසා එම සිද්ධියට අදාළව ඒ දිනවල මෙම කාන්තාව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර ඇප ලබා පැමිණීමෙන් පසුව පාතාල තර්ජන ලැබුණ නිසා මාස 6 ක් පමණ සැඟවී සිට ඇතැයිද පැවසේ.

ඊයේ ඝාතනය සිදුවූයේ ඇය නැවත නිවසට පැමිණ දරුවන් හා සැමියා සමග සිටියදීය. ඇයට මුදල් ආරවුල් සම්බන්ධ වෙනත්නඩු දෙකක්ද පැවති අතර ඊයේ දවල් ඇය ඒවාට සහභාගීවන්නට කඩුවෙල අධිකරණයට පැමිණ ඒවායින් නිදහස ලබා පිටව ගොස් ඇත්තේ නිවසටය. මේ නිසා ඇය නැවත සැඟව සිටි තැන්වලින් එළියට ආ බවට ඝාතකයින්ට කරුණු සැලවන්නට ඇතැයි පැවසේ.

ඊයේ රාත්‍රී 8.45 ට පමණ ඇය සිටි නිවසට මුහුනු ආවරණය කරගෙන යතුරු පැදිවලින් පැමිණි දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇත්තේ වෙඩි තැබීමෙනි. ඇය වෙඩි තබන්නට සූදානම් වූ අය දැක නිවසේ නැන්දම්මා වෙතට දිවගොස් ඇයව බදාගත් නමුත් වෙඩි තැබූ අය දිගටම ඇයට වෙඩි තබන ලද බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. ඇගේ සිරුරට වෙඩි ප්‍රහාර 14 ක් පමණ තබා ඇතැයි පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇත.
(අයිරංගි එදිරිසිංහ)