යන්න ලෑස්තිවූ ක්‍රීඩකයින් නවතා
දයාසිරි ගේම අතට ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නැවත කැඳවීමක් පෙරේදා (4දා) රාත්‍රියේ වාර්තා විය. එයට හේතුව වූයේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පූර්ව අනුමැතියක් නොමැතිව කණ්ඩායම පිටත්ව යෑමයි.

මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වූ අතර
ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ඊයේ සවස විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය. ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිලධාරීන් සහභාගි වූ මෙම රැස්වීමේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසයි.


කෙසේ වෙතත් එම අයහපත් තීරණය ගැනීම සම්බන්ධව වගකීම හා චෝදනාව ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා මහතාට එල්ල වී ඇති බවද දැනගන්නට ඇත.
එළැඹෙන ශ්‍රී ලංකා - ඉන්දියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට අදාළව තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නව දෙනකු (තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා අකිල ධනන්ජය)පෙරේදා (4දා) මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා ගුවන් ගත වීමට ආසන්නව සිටියදී ඔවුන්ගේ ගමන අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේම තීරණය කළේය. ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් විදෙස් තරගාවලියකට සහභාගි වීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එවන් අනුමැතියක් නොලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කිරීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ ගමන අවලංගු කිරීමට තීරණය කරන ලද බව වාර්තා වේ.

තවද මෙකී ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායම තෝරා ගත් බවක් හෝ තෝරාගත් ක්‍රීඩකයන්ගේ නාම ලේඛනයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තෝරාගත් ක්‍රීඩකයන් පිළිබඳව මාධ්‍යටද වසන් කර තිබිණි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් අදාළ කණ්ඩායම තෝරා ගැනීමෙන් පසුව එම නාමලේඛනය අනුමැතිය සඳහා දින 21කට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු යැයි ක්‍රීඩා නීතියේ සඳහන් වන අතර එසේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව කණ්ඩායමේ තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කිරීමද සම්ප්‍රදායක් ලෙස පැවැතුණි.

එහෙත් රටේ ක්‍රීඩා නීතිය සහ පිළිගත් සම්ප්‍රදායට පිටුපාමින් එසේ හදිසියේම ක්‍රිකට් කණ්ඩායමක් විදෙස්ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිව යුත්තන් තම හිතුමතේට අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද දැනගන්නට ඇත. එසේම එසේ හොර රහසේම ඉන්දියාව

බලා යෑමට තෝරා ගත් එක් දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් සමහර ක්‍රීඩකයන් සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැඩි නොසතුට පළකර ඇතැයිද තවදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව 'මව්බිම' කළ විමසීමකදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉන්දියාව බලා යෑමට තෝරාගත් ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව අනුමැතිය සඳහා තමන් වෙත ලැබුණේ පෙරේදා (4දා) සවස බවයි. ක්‍රීඩකයන්ට අදාළ යෝග්‍යතාවන් පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් කරුණු නොවිමසා රටින් පිටත් වීමට පැය තුන හතරකට පෙර තමන් වෙත ලැබෙන කණ්ඩායමකට තම අනුමැතිය ලබා දෙන්නේ කෙසේ දැයි පෙරළා විමසා සිටි අමාත්‍යවරයා 'ගුවන් තොටුපොළට යන තෙක් කණ්ඩායම කවුද? යන්නෙ කවුද? කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ක්‍රීඩා 62ක පරිපාලනය භාරව ඉන්න කෙනෙක්. මට ක්‍රිකට් ආයතනය විතරක් හුරතල් කරන්න අවශ්‍යතාවක් නැහැ. තිසර පෙරේරා පෙරේදා රෑ කටුනායක ගුවන්තොටුපොළේ සිට කතා කළා. සර් අපි දැන් ගුවන් යානයට ගොඩවෙලා අවසන්. එහෙත් මම කීවේ කරන්න දෙයක් නැහැ. එන්න කියලා මම දැනුම් දුන්නා.' යනුවෙන්ද කීය.

තවද ඊයේ පැවැති රැස්වීම සම්බන්ධවද අදහස් දැක්වූ ඇමැතිවරයා 'මම පැහැදිලිවම කිව්වා ඔයාලා නිසා අපට බැනුම් අහන්න බැහැ හැමදාම. මේකෙ වගකීම කවුරු හරි භාරගන්න ඕන. සමහර ක්‍රීඩකයන් තෝරා ගත්ත ආකාරය ගැනත් මගේ පැහැදීමක් නැහැ. කුසල් ජනිත් තෝරා ගත්තෙ නැත්තෙ පුහුණුවීම්වලට ආවෙ නැති නිසාලු. මම කියන්නෙ ඒක විනය කඩකිරීමක් නම් ඒ හේතුව එළියට දාන්න. නැත්නම් එයා කපලා කියලයි මිනිස්සු හිතන්නෙ. කොහොම වුණත් කණ්ඩායම රාත්‍රියේදී පිටත් වෙනවා' යනුවෙන්ද පැවැසීය.