මාමා අධිපතිවූ බැංකුවේ
බෑනා ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම
බරපතළ බව පිළිගන්නවා

-අගමැති රනිල් කොමිසමේදී කියූ දේවල්


මාමණ්ඩිය මහ බැංකු අධිපතිව සිටියදී බෑනා එම බැංකුවේ ප්‍රාථමික ගැනුම්කරුවකුව සිටීම බරපතළ තත්ත්වයක් බව තමා පිළිගන්නා බවත් ඇලෝසියස්ට එම කටයුතුවලින් ඉවත් වන ලෙස මහේන්ද්‍රන් කියා ඇතත් දිගින් දිගටම කල් ඉල්ලමින් ඔහු දිගටම එම කටයුතුවල යෙදුණු බව මහේන්ද්‍රන් තමාට පැවැසූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (20දා) මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී දිවුරුම් පිට ප්‍රකාශ කර සිටියේය.
ඇලෝසියස්ලා මත්පැන් ස්කාගාරයක් පිහිටුවීමට යන බවක්ද
විටෙක මහේන්ද්‍රන් තමා සමඟ පැවැසූ බවද "මට නම් මත්පැන්වලින් වැඩක් නෑ" යනුවෙන් තමා ඔහුට කී බවද අගමැතිවරයා කොමිසම හමුවේ කියා සිටියේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමත් එම සමාගමට අනුබද්ධ තවත් සමාගම් කිහිපයක්ද මහ බැංකුව සමඟ ගනුදෙනු කරන බව තමා දැන සිටි බවද කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.

භාණ්ඩාගාරයේ අනුමැතියකින් හෝ අනුදැනුමකින් තොරව රජයට අවශ්‍ය මුදල් රැස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය වශයෙන් ඉඩක් හෝ අවස්ථාවක් සැලසී තිබෙනවා දැයි ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා නැඟූ ප්‍රශ්නයට අගමැතිවරයාගෙන් ලැබුණේ මහ බැංකු අධිපති මහේන්ද්‍රනුත් භාණ්ඩාගාර ලේකම් එච්.එස්. සමරතුංගත් අගමැතිගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් යන තිදෙනා එකතු වී කතාබහ කොට එම කටයුතු සිදු කරන බවය.


ඔබ යටතේ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවත් එහි අධිපතිවරයාගේ බෑනා කෙනකුත් අතර සිදුවූ එම බැඳුම්කර ගනුදෙනු රටටම ප්‍රශ්නයක් බවට පත් වුණද ඔබට එය ප්‍රශ්නයක් වූයේ නැති දැයි අසන ලද ප්‍රශ්නයට අගමැතිවරයා කියා සිටියේ රටේ සියලුම මූල්‍ය කටයුතු පාලනය සම්පූර්ණයෙන්ම අයත් වන්නේ තමාට නොව පාර්ලිමේන්තුවට බවය.
විනිසුරු : කොමිසම විසින් ඔබ වෙත යොමු කරන ලද ප්‍රශ්නාවලියේ 12 වැනි ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔබ ප්‍රකාශ කර තිබෙනවා නේද රුපියල් බිලියන 13.55ක මුදලක් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය වූ බවක්?

අගමැති : එහෙමයි මා ප්‍රකාශ කොට තිබෙනවා

ප්‍ර : 2015 මාර්තු මස 02 වැනි දින වන විට එම මුදල් ප්‍රමාණය පියවීම සඳහා 2015 පෙබරවාරි මස 27 වැනිදා ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සිදු කිරීමට ඔබ නියම කළාද?
පි : මා නියම කළේ නැහැ.
ප්‍ර : ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව එවැන්නක් අනුමත කර නොමැති බව ඔබ දන්නවාද?
පි : මා දන්නේ නැහැ.
ප්‍ර : 2015 පෙබරවාරි 24 වැනි දින එම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව මෙම කරුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පි : මා දැන සිටියේ නැහැ.

ප්‍ර : රජයේ මුදල් අවශ්‍යතාවන් කෙළින්ම දැනුම් දිය යුත්තේ මහ බැංකුවට නොව මහ භාණ්ඩාගාරයට බැවින් එම කටයුතු ඉහත දෙපාර්තමේන්තුව හරහා සිදුවිය යුතු බවවත් ඔබ දැන සිටියාද?
පි : ඔව්. මා දැන සිටියා.
ප්‍ර : ඔබ පිළිගන්නවාද 2015 පෙබරවාරි 24 හා 26 දිනවලදී මෙවැනි හදිසි මුදල් අවශ්‍යතාවක් ගැන සාකච්ඡා වී ඇති බව.
පි : ඔව්. මා පිළිගන්නවා.
ප්‍ර : අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔබට ප්‍රකාශ කොට සිටි පසුවවත් අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම් හා මහ බැංකුව අතර සිදුවූ ගනුදෙනු අත්හිටුවීමට ඔබ යම් හෝ පියවරක් ගනු ලැබුවාද?
පි : එය මහ බැංකු අධිපතිවරයාගේ කාර්යයක්.
පෙරවරු 9.50ට කොමිසම හමුවට පැමිණි අගමැතිවරයා සාක්ෂි කූඩුවේ සිට තෝල්ක මුදලිවරයාගේ මඟපෙන්වීම පරිදි සත්‍යයක්ම මිස මුසාවක් නොපවසන බවට දිවුරා පොරොන්දු වෙමින් සාක්ෂි දීම ආරම්භ කළේය.
ප්‍රථමයෙන්ම කොමිසමේ සභාපති ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතා මීට පෙර සාක්ෂිකරු වෙත කොමිසම විසින් 2017.10.10 දින යවන ලද කොමිසමේ ප්‍රශ්න 28ක් හා ඊට සාක්ෂිකාර අගමැතිවරයා විසින් දිවුරුම් ප්‍රකාශ සහිතව 2017.10.20 දින දී ඇති පිළිතුරුද
අනතුරුව කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන දප්පුල ද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ සහ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා විසින් 2017.11.01 දින අගමැතිවරයාගෙන් ඇසිය යුතු බවට නිගමනය කරන ලද ප්‍රශ්න 20ක් හා ඒවාට 2017.11.18 දින සාක්ෂිකරු දිවුරුම් සහතික සමඟ ඉදිරිපත් කොට ඇති පිළිතුරුද ඔහුට පරීක්ෂා කිරීමට සලස්වා අනතුරුව ඒවා කොමිසමේ සාක්ෂි විභාගයට අදාළ ලේඛන අංක සී-3-61, සී-3-62, සී-3-63, සී-3-64 ලෙස සලකුණු කරනු ලැබීය.

ඉන් අනතුරුව එමඟින් සාක්ෂිකාර අගමැතිවරයා ලබාදී ඇති පිළිතුරු අතරින් වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා අවශ්‍යව තිබූ ප්‍රශ්න අංක 05, අංක 01 හා අංක 02 යන ප්‍රශ්න හා පිළිතුරු ඉදිරිපත් කරමින් කරුණු විමසා ඒවා තහවුරු කරගනු ලැබීය
ඒ අනුව සාක්ෂි විමසුම නිමා කළ අතර කොමිසමේ සාක්ෂි විභාගයද එතෙකින්ම අවසන් කෙරෙන බව කොමිසමේ සභාපති ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

(පෙරවරු 9.00ට ආරම්භ වූ සාක්ෂි විමසුම පෙරවරු 11.20ට පමණ නිමා විය)