තායිවාන් බැංකු සයිබර් කොල්ලය
හිල්ටන් රෙසිඩන්සීස්හි නැවතී සිටි
ඉන්දියන් සැකකරුවන් පළා ගොසින්

ශලිලගේ NGO එකත් ගෑවිලා

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් වංචා කිරීමේ සිද්ධියට අදාළ ජනක චමින්ද නම්මුනි සහ ශලිල මුණසිංහ දැනට අත්ඩංගුවේ පසුවන අතර මහීට සම්බන්ධ ඉන්දියන් ජාතිකයින් කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේ නවාතැන්ගෙන සිටි නමුත් මේ වනවිට
පළාගොස් ඇතැයි වාර්තාවේ.
අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ එම තනතුරට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා යන්නෙකු බවත් ඔහුගේ මෙම වංචාවට එම සංවිධානය සම්බන්ධයක් ඇති බවටත් මේ වනවිට පොලිසියට තොරතුරු ලැබී ඇත.
ශලීල මුණසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ

රවි කරුණානායක මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී වන අතර යහපාලන රජය පිහිටුවීමට හංසයා ලකුණ සහිත පක්ෂයේ නම සපයා දේශපාලනික ආධාර සැපයීමට කළගුණ සැලකීමක් ලෙස එම තනතුර ලැබී තිබේ.

ඊයේ ලිට්රො ගෑස් කළමනාකාරීත්වය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා සිටියේ තම සමාගම මෙම වංචාවට අදාළ නැති බවත් එය සභාපතිවරයාගේ පුද්ගලික ප්‍රශ්නයක් පමණක් බවත්ය.
ජනක චමින්ද නම්මුනි නමැති ව්‍යාපාරිකයා මුලින්ම කෝටි 3 ක මුදල් කුරුඳුවත්තේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඔහුගේ ගිණුමකට බැර කරගෙන ඇති අතර එම මුදලින් කෝටි 2ක මුදලක් ලබාගැනීම සඳහා එම ව්‍යාපාරිකයා සමඟ බැංකුවට යෑමටද ශලිල සහභාගීවී තිබේ.‍

ඉන්දියන් ජාතිකයන් දෙදෙනා කොළඹ “හිල්ටන් රෙසිඩන්සීස්"හි නැවතී සිටියදී ඔවුනට දෙන්නට පොරොන්දුවූ මුදල් මෙම දෙදෙනා එහි ගොස් භාරදී තිබේ.
තායිවාන බැංකුවට අදාළ අන්තර්ජාල පද්ධතිය වෛරස් යොදා විකෘති කර එය ප්‍රකෘති වන්නට පෙරාතුව මුදල් රටවල් කිහිපයක බැංකු ගිණුම් වෙත යොමු කිරීමේ සූක්ෂ්ම සයිබර් අපරාධය සිදුකළ ඉන්දියානුවන් “හිල්ටන් රෙසිඩන්සීස්"හි නවාතැන්ගෙන සිට මුදල්ද රැගෙන මේ වන විට පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවද තායිවානයේ නියෝජිතයින්ද මෙහි එනු ඇති බවද වාර්තාවේ.
ජනක චමින්ද නම්මුනි නමැත්තා සහ ශලීල මුණසිංහ යන දෙදෙනාට පවරා ඇති නඩුව අද (11දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.