වාහනේ හැපුනාම කථා කරකර හිටි යාළුවාවත් ආවෙ නෑ..
ස්විස් තරුණිය සමග විවාහ වන්නට සිටි
බේරුවල තරුණයාගේ මොළය මියයාමෙන් පසු
සියලු අවයව දන්දෙයි



ස්විට්සර්ලන්ත ජාතික ගුරුවරියක සමග ලබන මස විවාහ වීමට සිටි බව කියන 26 හැවිරිදි ලාංකික තරුණයකු අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව එම අවස්ථාවේ හිතවතුන්ගේ අහක බැලීමටද ලක්ව මොළය මියගොස් ජීවත්කරවන්නට බැරි තත්වයක් උද්ගතවූ පසු  ඔහුගේ ඇස්, වකුගඩු, හෘදය ආදි සියලු දේ අන් අය වෙත පරිත්‍යාග කිරීමේ සිද්ධියක් වාර්තාවේ.‍
බේරුවල මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේෂ් අබේගුණවර්ධන නමැති තරුණයෙකුගේ අවයව මෙසේ පරිත්‍යාග කෙරිණි. මෙම තරුණයා මොරගොල්ල ප්‍රදේශයේ සංචාරකයින් සඳහා
රෙස්ටුරන්ට් එක්ක පවත්වා ගිය අයෙකු වූ අතර ඔහු රාත්‍රී කාලයේ මිතුරන් කිහිපදෙනෙකු සමග කථාකරමින් මාර්ගය අසළ සිටියදී පාරේ වාහනයක් එනු නොදැක හදිසියේ පාර පැන තිබේ. එම අවස්ථාවේ ගමන් කළ ට්‍රක් රථයක හැපී ඔහු ඇද වැටී තුවාල වීමෙන් පසු රෝහලට ඇතුළත් කර ටික දිනකින් මියගියේය.

අනතුර සිදුවූ වෙලාවේ මෙම අවාසනාවන්ත මරණය සිදුවන්නට පෙර ජීවිතය බේරාගන්නට හැකියාවක් තිබී ඇති නමුත් එම අවස්ථාවේ මිතුරන් අසල්වැසියන් මෙන්ම පාරේ ගිය අයද මගහැරීමේ ප්‍රතිපත්තියක සිටි නිසා තත්වය උග්‍රවූ බව අනතුර සිදුකළ  රථය පැදවූ රියදුරු මාධ්‍ය වෙත දන්වා තිබුණි.


හොරණ ප්‍රදේශයේ පදිංචි විදුල කංකානම්ගේ සමන්ත (අවු.37) යන රියදුරු ඝාක්ෂි දෙමින් මෙසේ කීය.
‘මා අනතුරට  රථයේ රියදුරු ලෙස කටයුතු කරනවා. 16 වැනිදා රාත්‍රී 10.45 ට පමණ මා සිමෙන්ති කොට්ට් 900ක් පටවා ගත් වාහනය ගාල්ල සිට කැලණිය ගබඩාව දක්වා ධාවනය කළා. මගේ වේගය පැයට කිලෝ මීටර් 40-45 පමණ ඇති.
 අපේ වේගය ජී.පී.එස්. උපකරණ මගින් ආයතනය පරීක්ෂා කරන නිසා වැඩියෙන් යන්නෙ නෑ. අපේ' රථය අළුත්ගම පසු කර ඉදිරියට යන විට මොරගහ හන්දියට මීටර් 200ක පමණ තිබියදී පාරේ තුන්දෙනෙක් කතා කරමින් සිටියා. එක් අයකු පාපැදියේ සිටියා. අනෙක් අය අයින්වෙන්න කියා කැගසද්දි එක් අයකු මගේ වාහනයට මීටර් 10ක් පමණ තිබියදී පාර හරහා පැන්නා. මං තිරිංග ක්‍රියා කළත් ඔහු  ඉදිරිපස හැපී වාහනය ඉදිරියේ වැටුණා. මගේ වාහනයේ දකුණු පස රෝදය ඔහුගේ කකුල් දෙක ළග නතර වී තිබුණා.

 මා තුවාලකරුව ඉස්සුවා. ඔහු සමඟ සිටි මිතුරන් ආවේ නැහැ. පාරේ යන ත්‍රීවීල් 4-5ක්ම මොහුව රෝහලට ගෙන යෑම ප්‍රතික්ෂේප කර ගියා. කාර් කීපයකුත් රෝහලට ගෙන යෑම ප්‍රතික්ෂේප කළා. එවිට එතැනට ආ තවත් අයෙක් බලෙන් හරි ත්‍රීවීල් එකක් නවත්වා ගමු කිව්වා. ඒ අනුව නවතා ගත් ත්‍රීරෝද රථයෙන් මොහුව බේරුවිල රෝහලට යැව්වා.එවිට ප්‍රමාදව තිබුණා.පොලිස් නිලධාරීන්ගෙ උපදෙස් මත මා රෝහලට ගියේ නැහැ.‘


බේරුවලින් නාගොඩටත් පසුව කොළඹ රෝහලටත් රෝගියා යොමු කළ පසු මරණය වළක්වන්නට බැරි බව වෛද්‍යවරුන්ට ඒත්තු ගොස් තිබුණි.
මොළය මියයාමෙන් පසු පැය කිහිපය තුළදී ඔහුගේ සිරුරේ අවයව දන්දීමට කැමති බව පවුලේ අය දන්වා සිටි නිසා ඒ සඳහා අවශ්‍ය දේ සිදු කරන්නට රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණි.

මියගිය සුරේෂ් අබේගුණවර්ධනගේ පෙම්වතිය ස්විස් ජාතික තරුණියකි. ඔවුන් ළඟදී විවාහවීමට නියමිතව සිටි බවද පැවසුණි. අවයව දන්දීමට ඇගේද කැමැත්ත ලැබී තිබේ.
ඒ අනුව ඔහුගේ ඇස්, වකුගඩු, හෘදය ආදි සියලු දේ පරිත්‍යාග කෙරිණි.
සුරේෂ්ගේ පවුලේ තවත් සොයුරෙකු හා සොයුරියන් දෙදෙනෙකු සිටින අතර හැඬූ කඳුලින් තම පුතු වියෝව ගැන අදහස් දැක්වූ සුරේෂ්ගේ මව කියා සිටියේ ඔහු කිසිවෙකුට වරදක් නොකළ අහිංසක පුද්ගලයකු බවයි.
 පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය රිය අනතුර හේතුවෙන් මොළයට රුධිරය වහනය වීම හා මොළය ඉදිමීම සිදුවූ මරණයක් බව නිගමනය කළේය.

ඔහුගේ අවාසනාවන්ත අනතුර සිදුවූ අවස්ථාවේ මිතුරන් අහක බැලීම කාහටත් පුදුමය දනවන කරුණක් වී තිබුණි. නමුත් ඔහු මරණයෙන් පසු රටේ අය වෙනුවෙන් යුතුකම් ඉටු කළේය.